ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්, MTV සමාගමට ගොනු කළ නඩුව

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙමින් MTV සමාගමට එරෙහි නඩුව අංක 01 අධිකරණයේ දිසා විනිසුරු ඉදිරියේ කැඳවයි

by Staff writer 13-01-2021 | 7:45 PM

COLOMBO (News 1st) - MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කළ නඩුව අංක 06 අධිකරණයේදී විභාගයට ගන්නා ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම කළ ඉල්ලීම අතිරේක දිසා විනිසුරුවරයා අද ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව දිසා විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් නඩුව අංක 01 අධිකරණයේදී අද කැඳවනු ලැබුවේ ය. නඩුව පසුගිය 08 වැනි දා දිසා විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ විමසීමට ගැනිණි. එම අවස්ථාවේ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා වෙත නඩුව මාරු කරන ලෙස ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේ මුල් ඒකපාර්ශවික වාරණ නියෝගය ඔහු විසින් නිකුත් කරන ලද හේතුව මත හා පසුගිය මස 07 වැනි දා ඔහු විසින්ම වාරණ නියෝගය දීර්ඝ කිරීමේ පදනම මතයි. එම ඉල්ලීමට MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා දැඩි විරෝධය පළ කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, පාර්ශවකරුවන්ට අවශ්‍ය පරිදි සිතැඟියාව අනුව ඔවුන්ගේ නඩු ඇසීමට අවශ්‍ය විනිසුරුවරුන් තෝරා ගැනීම ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් බවත්, එමගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසෙන බවයි. පසුගිය මස 07 වැනි දා නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නඩුව පසුගිය මස 18 වැනි දා කැඳවන ලෙස තවත් අතිරේක දිසා විනිසුරුවරියක් නියෝග කරමින් නඩුව අංක 01 අධිකරණයේදී ජනවාරි 08 වැනි දා විභාගයට ගන්නා ලෙසට විශේෂිත නියෝගයක් කරනු ලැබූ අතර ඊට පැමිණිලිකාර පාර්ශවය එම අවස්ථාවේ දී කිසිදු විරෝධයක් නොදැක්වූ බව ද ඔහු එදින වැඩිදුරටත් දන්වා සිටියේ ය. එබැවින් නිසි අධිකරණ ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් දිසා විනිසුරුවරයා ඉදිරියේ නඩුව විභාගයට ගතයුතු බවත්,පැමිණිලිකාර පාර්ශවය ඉල්ලා සිටින පරිදි අතිරේක දිසා විනිසුරුවරයා වෙත නඩුව යොමු නොකරන ලෙසත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඉල්ලා සිටියා. දෙපාර්ශවයේ  කරුණු දැක්වීමට සවන්දුන් අධිකරණය පසුගිය 08 වැනි දා දැනුම් දුන්නේ කිසියම් පාර්ශවයක් යම් විනිසුරුවරයෙක් යම් නඩුවක් ඇසීම පිළිබඳව විරෝධතාව පළකරනු ලැබූ අවස්ථාවක එය නොතකා එම විනිසුරුවරයාම එම නඩුව අසනු ලැබුවහොත්, අදාළ විනිසුරුවරයා පක්ෂග්‍රාහී බවට නිගමනයකට එළඹිය හැකි බවයි. එකී හේතුව මත පමණක් පිහිටා මෙම නඩුව අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා වෙත යොමු කරන බවට දිසා විනිසුරුවරයා සඳහන් කළේ ය. ඉන්පසු අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ නඩුව එදිනම විමසීමට ගත් අවස්ථාවේ MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පැවසුවේ, මෙම නඩුව ඊට සුළු වේලාවකට පෙර අංක 01 අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම නඩුව මෙම අධිකරණයේ විභාගයට ගන්නා ලෙසට ඉල්ලීමක් කළ බවයි. එම ඉල්ලීමට තමා තරයේ විරුද්ධ වූ බවත් එම විරෝධයම මෙම අධිරණයේදී ද දක්වන බවත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අවධාරණය කර තිබේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ, පසුගිය මස 18 වැනි දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අංක 01 අධිකරණයේ නඩුව විභාගයට ගත යුතුයැයි දැනටමත් නියෝගයක් ලබාදී ඇති බැවින් මෙම අධිකරණයේදී නඩුව විභාගයට නොගත යුතු බවයි. කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා නඩුව අද දිනය දක්වා කල් තැබුවේ ය. නඩුව අද අංක 06 අධිකරණයේ අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ කැඳවු අවස්ථවේ ඔහු MTV චැනල් පුද්ගලික සමගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් විමසා සිටියේ පෙර දැක්වූ විරෝධතාව එලෙසම දක්වන්නේ ද යන්නයි. එහිදී MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඔහුගේ දැඩි විරෝධය දක්වමින් කියා සිටියේ කලින් දැක් වූ විරෝධතාව එලෙසම දක්වන අතර එම විරෝධතාව පිළිබඳ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවයි. කරුණු සළකා බැලූ අතිරේක දිසා විනිසුරු සදුන් විතාන මහතා නියෝග කළේ, මෙම නඩුව තම අධිකරණයේ විමසීමට තීරණය නොකරන බවත්, ඉදිරි කටයුතු සඳහා අංක 01 අධිකරණයේ විමසීමට යොමු කරන බවයි. ඒ අනුව නඩුව මෙම අධිකරණයේ විමසීමට අද ගත හැකි බවත්, මෙම නඩුව විමසීමට සුදානම් බවත් අංක 01 අධිකරණයේ දිසා විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ එය කැඳවූ අවස්ථාවේ ප්‍රකාශ කෙරුණි. එම අවස්ථාවේ ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ, මෙම අධිකරණයේ නඩුව විමසීම සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති බවයි. කෙසේවෙතත් තම සේවා දායකයාගෙන් උපදෙස් ගත යුතු බැවින් නඩුව ලබන සඳුදා තෙක් කල් තබන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේ ය. ඒ අනුව දිසාවිනිසුරුවරයා මෙම නඩුව ලබන 18 වැනි දා දක්වා කල් තැබුණි. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, නීතිඥ ජීවන්ත ජයතිලක, නිරන්ජන් අරුල්ප්‍රගාසම්, දමිත කරුණාරත්න, එන්.කේ.අශෝක්බරන්, මියුරු ඉගලහේවා යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් ජී.ජී අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ ය. සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පැමිණිලිකාර පාර්ශවය සහා පැමිණිලිකාර ආයතනයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහා නීතිඥ රුවන්ත කුරේ මහතායි.