ඉන්දුනීසියානු ගුවන් අනතුරේ අභිරහස හෙළි වෙයි ද?

ඉන්දුනීසියානු ගුවන් අනතුරේ අභිරහස හෙළි වෙයි ද?

by Sagarika Chathumali 13-01-2021 | 2:09 PM

COLOMBO (News 1st) : පසුගිය සෙනසුරාදා ජාවා මුහුදට කඩා වැටුණු ඉන්දුනීසියානු මගී ගුවන් යානයේ කළු පෙට්ටි (Black Boxes) දෙකෙන් එකක් සොයා ගැනීමට සෝදිසි කණ්ඩායම් සමත්ව තිබේ.

  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෝදිසි කණ්ඩායම් විසින් සොයාගනු ලැබූ යානයේ "දත්ත රෙකෝඩරය" මේ වනවිට ගොඩබිමට රැගෙන විත් ඇති බවයි. කෙසේ වෙතත් මේ වන තෙක් නියමු කුටිය හා පාලක මැදරිය අතර සංවාද පටිගතව ඇති දත්ත රෙකෝඩරය සොයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද එම වාර්තාවල සඳහන්. ඉන්දුනීසියානු බලධාරීන් විශ්වාසය පළ කරන්නේ,  "කලුපෙට්ටියේ" තොරුතුරු විශ්ලේශණය කිරීමෙන් ගුවන් අනතුර පිළිබඳ ඉඟියක්   දැන ගත හැකිවනු ඇති බවයි. සෝදිසි කණ්ඩායම් මේ වනවිට යානයේ සුන්බුන් කොටස්, සිරුරු කොටස් මෙන්ම මගීන් හැඳ සිටි ඇඳුම්වල කොටස් ද සොයා ගනු ලැබ තිබේ. ඉන්දුනීසියානු බලධාරීන් උපුටා දක්විමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය 9 වනදා අනතුරට පත් වූ ශ්‍රී විජය එයාර් සමාගමට අයත් අවුරුදු 26 ක් පැරණි මෙම බෝයිං 737 වර්ගයේ යානය පසුගිය මාසයේදී ගුවන් යෝග්‍යතා පරීක්‍ෂණය ද සමත්ව ඇති බවයි. ජකර්තා නුවර සිට බෝර්නියෝ දූපතේ පොන්ටිනැක් නගරය බලා පුද්ගලයින් 62ක් සමග ගුවන්ගත කෙරුණු යානය ගුවන්ගත වී සුළු වේලාවක් ඇතුළත පාලක මැදිරිය සමග සබඳතා ගිලිහී ගොස් තිබිණ. පසුව වාර්තා වූයේ, මිනිත්තු 90ක පමණ කාලයක් ඇතුළත ගමනාන්තයට ළඟා වීමට නියමිතව තිබූ යානය ගුවන්ගත කර මිනිත්තුවකට අඩු කාලක් ඇතුළත මුහුදට කඩා වැටී ඇති බවයි. පසුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය කඩා වැටී ඇති බවත් එය කඩා වැටෙන විට මුහුදු මට්ටමේ සිට අඩි 10,000ක උසකින් යානය පියාසර කරමින් තිබී ඇති බවත් ය. යානය මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වීමත් සමග සෝදිසි මෙහෙයුම් සඳහා නැව්, යාත්‍රා මෙන්ම හෙළිකොප්ටර් යානා සහ 2,600කින් යුත් පුද්ගල කණ්ඩායමක් ද එක්විය. පුද්ගලයින් 130කට ගමන් කළ හැකි වුත් යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි සිට ඇත්තේ කාර්ය මණ්ඩලය ද ඇතුළුව මගීන් 62 පමණි. මගීන් අතර බිළිඳුන් දෙදෙනකු සහ ළමුන් 7 දෙනකු ද සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.