දිස්ත්‍රික්ක 20කින් නව කොරෝනා ආසාදිතයින්

ගෙවුණු පැය 24 නව කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක...

by Sagarika Chathumali 12-01-2021 | 8:23 AM

COLOMBO (News 1st) : අද (12) උදෑසන වන විට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 569 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොව්ඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් ආසාදිිිතයින් 568 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ, දේශීයව වන අතර ඉතිරි ආසාදිතයා විදෙස් රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන ඇත. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා එම සංඛ්‍යාව 110කි. ඊට අමතරව ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 88ක් සහ 52ක් ලෙස වාර්තා වේ. දිගින් දිගටම වැඩිම ආසාදිතයින් පිරිස වාර්තාවූ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වී ඇත්තේ, ආසාදිතයින් 37 දෙනෙකු පමණි. ඉතිරි ආසාදිතයින් වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් ද ඇතුළුව මේ වනවිට මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 48949ක් දක්වා ඉහළ ගියේ ය. පුද්ගලයින් 766 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 42091ක් දක්වා ඉහළ ගියේ ය. ගෙවුණූ පැය 24 තුළ නව කෙරෝනා මරණ 8ක් වාර්තා වීමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තාවී තිබුණේ, මීගමුව බන්ධනාගාරය, රාජගිරිය, මට්ටක්කුලිය , කොළඹ 12, කොළඹ 14, බණ්ඩාරගම, කළුතර දකුණ සහ නාත්තණ්ඩිය යන ප්‍රදේශවලිනි. අද උදෑසන වනවිට විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර කොව්ඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ,තවත් පිරිසක් පැමිණීමට නියමිත බවයි. එලෙස පැමිණෙන සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය සඳහා කටයුතු සූදානම් කර ඇති අතර මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 6, 267කි. ඊයේ දිනය තුළ මෙරටදී PCR පරීක්ෂණ 13, 224ක් සිදු කර ඇත.