''ලොකු ම සතුරා අමෙරිකාවයි'' - උ. කොරියාව කියයි

සතුරා වෙනස් නොවන බව උ. කොරියානු නායකයා කියයි

by Sagarika Chathumali 11-01-2021 | 12:33 PM

COLOMBO (News 1st) : සිය රටේ ලොකුම සතුරා අමෙරිකා එක්සත් ජනපදය බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි.

උතුරු කොරියානු නායකයා සිය පක්ෂයේ සම්මේලනය අමතිමින් පවසා ඇත්තේ, අමෙරිකාවේ ජනාධිපතිවරයා කවුරුන් වුවත් සිය රට සම්බන්ධයෙන් වන එරට ප්‍රතිපත්තීන්හි වෙනසක් සිදු වනු ඇතැයි, අපේක්ෂා නොකරන බවයි. සිය පාලක කම්කරු පක්ෂයේ කලාතුරකින් පැවැත්වෙන සම්මේලනයක් අමතමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව සහ යුදමය හැකියාව තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි. න්‍යෂ්ටික සබ්මැරීනය සඳහා වන සැලසුම සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව ද ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත. අමෙරිකාවේ තේරීපත්ව සිටින ජනපති ජෝ බයිඩ්න් ලබන 20 වනදා ධුරයේ රාජකාරී ඇරඹීමට නියමිත වටපිටාවක් තුළ උතුරු කොරියානු නායකයාගේ මෙම ප්‍රකාශ විශ්ලේෂකයින් හඳුන්වා දෙන්නේ, නව ආණ්ඩුවට බලපෑම් කිරීමේ අරමුණින් සිදු කරන ප්‍රකාශයන් බවයි. මේ අතර නුදුරේදීම ධුරයෙන් සමු ගැනීමට නියමිත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග උතුරු කොරියානු නායකයා පසුගිය සමයේ දිගින් දිගටම වාග් සංග්‍රාමයන්හි පැටළුණු අයුරු ද දැක ගනන්ට ලැබිණ. කෙසේ වෙතත් දැඩි ආර්ථික සම්බාධකවලට යටතේ වුවද උතුරු කොරියාව සිය යුදමය හැකියාවන් සැලකිය යුතු ලෙස ඉදිරියට ගෙන යාමට සමත්ව ඇති බවට විදසේ මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම පසුගිය දා උතුරු කොරියානු නායකයා හුදකලා රටක් සඳහා වූ සිය පස් අවුරුදු ආර්ථික සැලසුම සෑම අංශයකින් ම ආසාර්ථක වූ බව පිළිගත්තේ ය. පසුගිය වසරේ ජනවාරි මාසයේදී උතුරු කොරියාව කොවිඩ් වංසගතය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා දේශ සීමා වසා දැමුණු අතර බලධාරීන් පැවසුවේ, උතුරු කොරියාවෙන් එකදු කොරෝනා ආසදිතයෙකු හෝ වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් විශ්ෂෙඥයින් පවසන්නේ, වෙළඳ කටයුතු සඳහා උතුරු කොරියාව චීන දේශ සීමා හරහා ගමන් කරන බැවින් එය කිසි ලෙසකින් පිළිගත නොහැක්කක් බවයි.