පළාත් කිහිපයකට අද මහ වැසි..

පළාත් කිහිපයකට අද මහ වැසි..: ජලාශ 10ක් වාන් දමයි

by Staff writer 10-01-2021 | 6:37 AM

COLOMBO (News 1st) –  උතුර, නැගෙනහිර, උතුරු මැද හා මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි. ඒ, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ය. ඊට අමතරව උතුරු හා උතුරු මැද පළාත් හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් ය. පවතින අධික වර්ෂාව හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 73 න් ජලාශ 10 ක පමණ වාන් දොරටු විවෘත කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ එක්කයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, දැඳුරු ඔය , රාජාංගනය, පරාක්‍රම සමුද්‍රය, යාන් ඔය ඇතුළු ජලාශ 10 ක පමණ වාන් දොරටු එලෙස විවෘත කළ බවයි.