21 ප්‍රහාරය:ලාංකිකයින් තිදෙනෙකුට අමෙරිකාවෙන් නඩු

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් තිදෙනෙකුට අමෙරිකාවෙන් නඩු

by Hashini De Mel 09-01-2021 | 10:45 AM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට අත්අඩංගුවේ සිටින සැකකරුවන් තිදෙනෙකුට ත්‍රස්තවාදී චෝදනා මත නඩු පැවරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සහය ඇතිව FBI ආයතනය වසර දෙකකට ආසන්න කාලයක් සිදු කළ විමර්ශනයකින් පසුව මෙම පියවර ගෙන ඇති බවයි. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීම , ආධාර අනුබලදීම සහ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ සැපයීමේ චෝදනා මත මේ වනවිට මෙරට අත්අඩංගුවේ පසුවන මොහොමඩ් නවුෆර් , මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයතු මොහ්මද් යන සැකකරුවන්ට එරෙහිව අමෙරිකාව චෝදනා ගොනුකර තිබේ. අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ , විදේශ ත්‍රස්ත සංවිධානයක් ලෙස තම රට නිවේදනය කර ඇති ISIS සංවිධානයට සහය දක්වා ඇති මෙම ත්‍රස්ත කණ්ඩායම ISIS ශ්‍රී ලංකා ලෙස තමන් හඳුන්වාගෙන ඇති බවයි. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අමෙරිකානු වානිජ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඇතුළු 5 දෙනෙකු මියයාම හේතුවෙන් ඔවුන් සිය රට තුළ මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කිරීමට පියවර ගෙන තිබේ. අමෙරිකානු ජාතික ආරක්ෂාව පිළිබඳව සහකාර නීතිපති ජෝන් සී.ඩෙමර්ස් පවසන්නේ , මෙම ත්‍රස්තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ කෙරෙන විමර්ශනයට සහ නඩු පැවරීමට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන්ට ඇති හැකියාව පිළිබඳව අමෙරිකාව විශ්වාසයෙන් සිටින බවත් විත්තිකරුවන් යුක්තිය මග හැරීමට උත්සාහ කළහොත් , මෙම චෝදනා සමග ක්‍රියාත්මකවීමට පියවර ගන්නා බවත් කැලිෆෝනියා මධ්‍ය දිස්ත්‍රික් නීති නිලධාරී නික් හැනා සඳහන් කර තිබේ. FBI ආයතනයේ ලොස් ඇන්ජලීස් ක්ෂේත්‍ර කාර්යාලයේ ප්‍රධානී ක්‍රිස්ටි කේ. ජොන්සන් සඳහන් කළේ, අමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ලෝකය පුරා විවිධ රටවල දේශීය ආයතන සමග ඒකාබද්ධව ත්‍රස්තවාදයට එරෙහි අභියෝග ජය ගැනීමට, විමර්ශන පුළුල් කර ඇති බවයි.