රන්ජන් මඩුගල්ලේට හිමි වූ සුවිශේෂි අවස්ථාව..

රන්ජන් මඩුගල්ලේට හිමි වූ සුවිශේෂි අවස්ථාව..

by Staff writer 08-01-2021 | 2:30 PM

COLOMBO (News 1st) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරක මඬුල්ලේ ප්‍රධානී රන්ජන් මඩුගල්ලේ මහතා ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග තීරක ලෙස නම් කර තිබේ.

තරග තීරකවරයෙකු ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රන්ජන් මඩුගල්ලේ මහතාට ප්‍රථමවතාවට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන ටෙස්ට් තරගයකදී තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ය. ටෙස්ට් තරගාවලියක් සඳහා තරග තීරකවරයෙකු නම් කිරීමේදී අනුගමනය කරනු ලැබූ සම්ප්‍රදාය වූයේ , තරග කරනු ලබන රටවල් දෙකට අයත් නොවන අයෙකු පත් කිරීමයි. කෙසේ වෙතත් ලොව පුරා පවතින කොවිඩි 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඒ ඒ රටවල තරග තීරකවරුන් සහ විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට මේ වන විට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරක මඬුල්ලේ ප්‍රධානියා ලෙසින් ද කටයුතු කරන රන්ජන් මඩුගල්ල මහතා ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක තරග තීරකවරයා ලෙසින් කටයුතු කළ පුද්ගලයා ද වීම විශේෂත්වයකි . කුමාර ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ යන මහත්වරුන් මෙම තරගාවලියේ පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කරනු ලබයි. මේ අතර තරගාවලියට සූදානමක් ලෙස එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින්ම දෙපිලක් ලෙස පුහුණු තරගයක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. මෙම පුහුණු තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. පුහුණු තරගය සඳහා සහභාගී වන එක් කණ්ඩායමක් ජෝ රූට් මෙහෙය වන අතර අනෙක් කණ්ඩායම මෙහෙයන්නේ ජොස් බට්ලර් ය.