COLOMBO (News 1st) - ලසන්ත වික්‍රමතුංග...,
නොබියව, සත්‍යය ජනතාව ඉදිරියේ හෙළි කළ මානව හිතවාදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා අපට අහිමිකර අදට වසර 12කි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ලසන්ත ජනතාව වෙනුවෙන් ජනතාව ඉදිරියේ බොහෝ වංචා දූෂණ හෙළි කළේ සිය දිවිය දෙවෙනි කොට සලකමින්ය.
කිසිවෙකුට ළඟාවිය නොහැකි තොරතුරු වෙත සූක්ෂමව ළඟාවීමේ හැකියාවක් තිබූ මේ විශිෂ්ට ගවේෂණාත්මක මාධ්‍යවේදීයා රටට හෙළි කළ බොහෝ තොරතුරු ඔහු නොවන්නට සදහටම සැඟවෙන්නට ඉඩ තිබුණි.
මේ නිසාම ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වූයේ වරක් දෙවරක් නොවේ.
අවසානයේ 2009 වසරේ ජනවාරි 08 වැනි දා උදෑසන 10.25 ට ලසන්තගේ ජීවිතය උදුරාගන්නට ඔහුගේ පෑනට බිය වූ පිරිසකට හැකි විය.
සුපුරුදු පරිදි සේවා ස්ථානයට යමින් සිටි ලසන්ත විකුමතුංග ආයුද සන්නද්ධ මැරයින් අත්තිඩිය පාරේදී මරා දමන විට ඔහු සන්තකයේ තිබුනේ පෑනත් සටහන් පොතත් පමණි.
ජාත්‍යන්තරයේ විශිෂ්ට සම්මාන ගණනාවකින් ඇගයූ ලසන්ත, නොබියව කළ මෙහෙවර වෙනුවෙන් ඝාතනයෙන් පසුවත් අයි.පී.අයි. වර්ල්ඩ් ප්‍රෙස් ෆ්‍රීඩම් හීරෝ සම්මානයෙන් ඇගයීමට ලක් කළේ ය.
මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා නිහඬ කළ මැරයින් නිදැල්ලේ පසුවෙද්දී ඔහුගේ මරණය මතින් ආණ්ඩු වෙනස්කර බලය ගත් පිරිසද අනුගමනය කළේ, ඇල්මැරුණු පිළිවෙතකි.
2016 සැප්තැම්බර් මාසයේ 27 වැනි දා ලසන්තගේ සිරුර යළි ගොඩගත් අතර සැකකරුවන් කිහිපදෙනෙකු නීතිය හමුවට ඉදිරිපත් කලත් තවමත් ඔහු වෙනුවෙන් යුක්තිය ඉටුවූ බවක් නම් පෙනෙන්නට නැත.
ලසන්තගේ ජීවිතය මැර කණ්ඩායමක් විසින් උදුරා ගැනීමට පැය 48 කට පෙර ඔහු මේ අයුරින් සියලු දෙනා අවදි කළේ දෙපානම සිරස මැදිරි සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමිනි.
සැපේදීටත් වඩා විපතේදී සෑමවිටම සිටි ලසන්ත මැදිරි සංකීර්ණයට ප්‍රහාරය එල්ල වී විනාඩි කිහිපයක් තුළ දෙපානමට පැමිණියේ ය.
ඉතා සැලැසුම් සහගතව 2009 ජනවාරි 06 වැනි දා අලුයම, ඒ වනවිට අති නවීන පහසුකම්වලින් නවීකරණය කර තිබූ දෙපානම සිරස මැදිරි සංකීර්ණයට ඇතුළු වූ සන්නද්ධ කල්ලිය බෝම්බ ගසා ගිනි තබා එය විනාශ කර පළා ගියේ ය.
ඔවුන් පළා ගොස් තිබුණේ ප්‍රධාන පාලක මැදිරියේ අධිබල ක්ලේමෝ බෝම්බ ද අටවමිනි.
බෝම්බ ගසා විනාශ කර අප නිහඬ කිරීම මැරයින්ගේ අපේක්ෂාව වුනත් ජනතාව වෙනුවෙන් ප්‍රහාරයෙන් පැය 04 ක් යන්නටත් පෙර අප යළිත් සියලුම මාධ්‍ය නාලිකා ක්‍රියාත්මක කිරීමට සමත් විය.
බෝම්බ ගසා, ගිනිතබා, මරා දමා සත්‍ය යටපත් කළ හැකියැයි මේ ප්‍රහාර පිටුපස සිටිනවුන් සිතනවා විය හැකියි.
අපරාධකරුවන් සැමවිටම බිය වන්නේ සත්‍යයටයි.
ජනතා ඔබේ ශක්තිය, සැම විටම අප දිරිමත් කරන අතර ඔබ වෙනුවෙන් අපේ යුතුකම ඉටු කිරීමට අප කිසිවිටෙක පසුබට නොවන්නේත් ඒ නිසාමයි.
සත්‍යය සඟවා තැබිය නොහැක, එය කෙදිනක හෝ ජයගනු ඇත.