''සදහටම ඉන්නවා. තාමත් මම සභාපති''

''මම සදහටම ඉන්නවා.. තාමත් මම සභාපති'' - හිටපු ජනපතිනිය

by Staff writer 08-01-2021 | 3:20 PM

COLOMBO (News 1st) : තමා පක්ෂයෙන් ගැලවී නොමැති බවත් තමා සැමදා පක්ෂය තුළ සිටින බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

හිටපු ජනපතිනිය මෙම අදහස් පළ කළේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. බණ්ඩාරනායක මහතාගේ 122 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය උදෑසන 8 ට පැවැත්වීමට නියමිතව තිබුණ ද හිටපු ජනාධිපතිනිය උත්සවය ආරම්භ විමට පෙර පැමිණ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූවා ය. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ පැනයන්ට හිටපු ජනපතිනිය මෙසේ පිළිතුරු දුන්නා ය. ප්‍රශ්නය : - ඔබ තුමියගේ පියාණන් ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂේ ගැන මොකද හිතෙන්නේ ? හිටපු ජනපතිනිය : - මොකක්ද හිතන්න ඕනේ? ප්‍රශ්නය : - දැන් මේ වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ යන ගමන් මාර්ගය නිවැරදි ද? හිටපු ජනපතිනිය : - ගමන් මාර්ගයක් නෑනේ.නිවැරදිද වැරදිද කියලා කියන්න මට බෑ. ප්‍රශ්නය : - ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට   අසාධාරණයක් වුණා කියලා දැන් ඉන්න පාර්ශවය කියනවා හිටපු ජනපතිනිය : - ඒක ඉතිං අවුරුද්දකට කලින් මම කිව්වානේ, ඒක කරයි කියලා ප්‍රශ්නය : - ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගැලවුණෙත් ඒ හින්දාම ද? හිටපු ජනපතිනිය : - මං ගැලවිලා නෑ. මං පක්ෂෙ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂෙ සභාපති. තවමත් මම පක්ෂෙ යාවජීව අනුශාසක. තමවත් මම පක්ෂෙ දේශපාලන මණ්ඩලයේ සභිකයෙක් ප්‍රශ්නය : - ඔබතුමිය ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද පක්ෂෙ රැක ගැනීමට? හිටපු ජනපතිනිය : - මම පක්ෂෙ රැකගෙන තියනවා 4 වතාවක්... හොම්බ බිම ඇනිලා වැටිච්ච හැම වතාවකම .දැන් පක්ෂෙ ඉන්න කට්ටිට කරගෙන යයි. ප්‍රශ්නය : - උත්සවය තියෙන්නෙ 8ට ඔබතුමිය කලින් ආවේ...? හිටපු ජනපතිනිය : - කලින් ආවේ මට කලින් එන්න ඔ්න නිසා ප්‍රශ්නය : - ඒ කියන්නේ ආරාධනාවක් කළේ නැද්ද මේ සැරේ වත්...? හිටපු ජනපතිනිය : - කිසිම ආරාධනාවක් නෑ. හැබැයි ඒ ගොල්ලන්ට මේක අයිති නෑ. නේ ඉතිනක් අපිට ඔ්න වෙලාවකට අපි එනවා ප්‍රශ්නය : - ඔබතුමියට කනගාටුවක් නැද්ද මේ පක්ෂෙට වෙන දේ ගැන හිටපු ජනපතිනිය : - බොහෝම කනගාටුයි ප්‍රශ්නය : - ඔබතුමිය ඉදිරිපත්වෙන්න ඔ්න නේ හිටපු ජනපතිනිය : - හැම දාම ඉදිරිපත් වෙන්නෙ මොකට ද ? ප්‍රශ්නය : - ඔබතුමිය අයින් කරලා කියලා තමයි කයින්නෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනපතිනිය : - එයාගේ හිනේ ඒ හීන දැකලා ප්‍රශ්නය : - ඔබතුමිය එක්සත් ජාතික පක්ෂෙට ගියේ ? හිටපු ජනපතිනිය : - එක්සත් ජාතික පක්ෂෙට ගියා.. කවු ද ගියේ? ප්‍රශ්නය : - අලුත් ආණ්ඩුව ගැන ඔබතුමියගේ අදහස් මොකක් ද? හිටපු ජනපතිනිය : - දැන් ඒව ගැන කතා කරනන් බෑ. අනතුරුව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ද එම ස්ථානයට පැමිණියේ ය. අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර හා රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු පිරිසක් ද මෙම උත්සවට සහභාගි වූහ. අනතුරුව උත්සවය නිල වශයෙන් ආරම්භ වූ අතර , එහි නිල ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෙහිදි පක්ෂ සභාපතිවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීහු විමසා සිටියහ. https://www.youtube.com/watch?v=3Aey5OIn_ek&feature=youtu.be