රට සිට එවූ ලක්ෂ 3ට විද්ද නයිජීරියානුවා CID දැලේ

ප්‍රවේසමෙන්...! අන්තර්ජාලය හරහා කරන ජාවාරම් ඉහළට.. තවත් නයිජීරියානුවෙක් CID දැලේ

by Sagarika Chathumali 08-01-2021 | 12:19 PM

COLOMBO (News 1st) : නයිජීරියානු ජාතිකයින් මැදිහත්වී අන්තර්ජාලය හරහා මෙරටදී සිදුකරන ජාවාරම් ඉහළ ගොස් ඇතැයි, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙරට පුද්ගලයින්ගේ ඊ- මේල් ගිණුම් වෙත අනවසරයෙන් පිවිස එහි අන්තර්ගතයන් වෙනස්කර ජාවාරම්වල නිරත වූ තවත් නයිජීරියානු ජාතිකයෙකු පසුගිය දා අත්අඩංගුවට ගත් බවයි. මොරටුව ප්‍රදේශයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු තමා සපයන ලද සේවාව වෙනු‌වෙන් ලැබිය යුතු ලක්ෂ 9ක මුදල සිය ගිණුමට බැර කරන ලෙස දන්වා සේවය සපයන ලද විදෙස් රටක සිටින ලාංකිකයෙකුට ඊ -මේල් පණිවුඩයක් යවා තිබේ. පසුව අදාළ විදෙස්ගත ලාංකිකයා ඉල්ලන ලද මුදලින් ලක්ෂ 3ක මුදලක් අදාළ ඊමේල් පණිවුඩයේ සඳහන් ගිණුමට බැර කර ඇති අතර කෙසේ වෙතත් පසුව හෙළිවී ඇත්තේ, එය අදාළ ගෘහ නිර්මාණ ශිල්පියාගේ ගිණුම නොව බවයි. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකදී හෙළි වී ඇත්තේ, කිසියම් පිරිසක් අදාළ ඊ මේල් ගිණුම ආක්‍රමණය කර ඇති බවයි. එහිදී හෙළිවී ඇත්තේ, නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු විසින් ආදාළ ඊ මේල් ගිණුම ආක්‍රමණය කර එහි විස්තර වෙනස් කර වෙනත් බැංකු ගිණුමක් තොරතුරු එහි සඳහන් කර ඇති බවයි. දීර්ඝව සිදු කළ විමර්ශනයකින් අනතුරුව පෙරේදා (6) වනදා CID නිලධාරීන් සිද්ධියට සම්බන්ධ නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදනා 55 සහ 65 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය හා මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. නයිජීරියානු ජාතිකයා නුගේගොඩ නවාතැන්ගෙන සිටි ස්ථානයේ කළ පරීක්ෂා කිරීමේදී ව්‍යාජ හැඳුනුම්පත් 22ක්, පාස් පොත් 18ක්, ATM කාඩ් 29ක්, ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතන 12ක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත්ව ඇත. සැකකරුවන් තිදෙනාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජනවාරි 21 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

සබැඳි පුවත්...