කොරෝනා ආසාදිතයින් වාර්තාවූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ මෙන්න

by Sagarika Chathumali 08-01-2021 | 9:26 AM

COLOMBO (News 1st) : ගෙවුණු පැය 24 තුළ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 532 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 46,780ක් දක්වා ඉහළ ගියේ ය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියානවිත මධ්‍යස්ථානය උපුටා දකවමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ,ඉන් ආසාදිතයින් 7 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටින ලාංකිකයන් අතරින් හඳුනා ගත් බවයි. දිවයිනේ දිස්ත්‍රික්ක 16කින් ඉතිරි ආසාදිතයින් සියලු දෙනා වාර්තා වී ඇති අතර හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන ආසාදිතයින් 226 දෙනා වාර්තා වී ඇත්‌තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනිි. ඊට අමතරව මහනුවර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 72ක් සහ 50ක් ලෙස වාර්තාවී තිබේ. අනෙකුත් ආසාදිතයින් වාර්තාවී ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ (7) දිනයේ පුද්ගලයින් 638 දෙනෙකු සුවය ලැබීමත් සමග පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 39,661 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනනේ ආසාදිතයන් 6900 දෙ⁣නෙකු පමණි. ගෙවුණු පැය 24 තුළ තවත් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා මරණ ගණන ද 222 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වී ඇත්තේ, මිතිරිගල, කොළඹ 14 සහ බේරුවල යන ප්‍රදේශවලිනි. අද උදෑසන වනවිට විදෙස්ගතව සිටි පුද්ගලයින් 261 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර අද දිනයේ තවත් පුද්ගලයින් 365 දෙනෙකු පැමිණීමට නියමිතව ඇත. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියානවිත මධ්‍යස්ථානය පැවසුවේ, එලෙස පැමිණි සහ පැමිණෙන පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි. මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 78ක් තුළ පුද්ගලයින් 5,782 දෙනකු තවුදරටත් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,041කි.