සංචාරකයින් ගෙන්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න

විදෙස් සංචාරකයින් ගෙන්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ..

by Staff writer 07-01-2021 | 6:43 PM

COLOMBO (News 1st) : විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය යටතේ නිකුත් කර තිබේ.

මාර්ගෝපදේශවලට අනුව මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් තමන්ගේ ගුවන් යානයට ගොඩ වීමට පැය 96 කට පෙර PCR පරීක්ෂණයක් සිදු කර කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබීම අනිවාර්යය වේ. දිවයිනට පැමිණෙන සියලු සංචාරකයින් මෙරට තුළ දින 07 ක කාලයක් රැඳී සිටිනවා නම්, ඔවුන් PCR පරීක්ෂණ දෙකකට මුදල් ගෙවිය යුතු අතර දින 07 කට වඩා වැඩි කාලයක් රැඳී සිටිනවා නම් ඔවුන් PCR පරීක්ෂණ 03 කට මුදල් ගෙවිය යුතු ය. කෙසේ වෙතත් ව්‍යාපාරික වීසා (Business Class) පහසුකම යටතේ මෙරටට පැමිණෙන පුද්ගලයින්ට මෙම මාර්ග උපදේශ අදාළ වන්නේ නැත. මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් කොවිඩ් රක්ෂණ ආවරණයකට හිමිකම් කිව යුතු අතර එය මෙරට මුදලින් රුපියල් මිලියන 5 ක් විය යුතුයි. එලෙස පැමිණෙන සංචාරකයෙකුට සහතික කරන ලද හෝටලයක දින 14 ක කාලයක් නවාතැන් ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම දින 14 කාල සිමාව තුළ දී සංචාරකයින්ට හෝටල් පරිශ්‍රයෙන් පිටතට යාමට අවසරය හිමි වන්නේ නැත. මෙරටට පැමිණීමෙන් පසු සිදු කරන PCR පරීක්ෂණයේදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වුවහොත් ඔවුන්ට ජෛව බුබුලක් ( Travel Bubble) ලෙස වෙනත් හෝටල් කරා යෑමට අවසරය හිමි ය. කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, සංචාරක මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබා දී ඇති සංචාරක කලාප 14 තුළ පමණක් ජෛව බුබුලක් ( Travel bubble) ලෙස මෙම විදේශීකයින්ට සංචාරය කිරීමට අවසරය හිමිවන්නේ ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා මත පදනම්වයි. මේ සියලුම PCR පරීක්ෂණයක්ම සිදු කළ යුත්තේ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලත් පෞද්ගලික රසායානාගාරවලින් පමණක් වන අතර එයට මූලික විය යුත්තේ ඔවුන් රැඳී සිටින හෝටලයයි. ගුවන් යානාවලින් පැමිණෙන සංචාරකයින් වෙනත් සංචාරකයින් සමග මිශ්‍ර වීමට ඉඩ නොදීමට අදාළ සංචාරකයින් රැගෙන එනු ලබන සමාගම් විසින් කටයුතු කළ යුතුව ඇති අතර ඔවුන්ගේ නවාතැන් ගන්නා හෝටල් , ප්‍රවාහන පහසුකම් ආදිය සැපයීම ද මෙම ක්‍රමවේදය අනුව සිදු කළ යුතුයි. ඊට අමතරව සංචාරක මණ්ඩලය විසින් විදෙස් සංචාරකයින් නවාතැන් ගන්නා හෝටල් ඊට සුදුසු ද යන්න සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කළ යුතුයි. සංචාරකයින් මෙරට තුළ සංචාරයේ යෙදෙන අවස්ථාවේදී ඒ සඳහා වන ප්‍රවාහන සැලැස්මක් ඔවුන් නැවතී සිටින හෝටලය සතුව තිබිය යුතු ය. සංචාරකයින්ට අභ්‍යන්තයර ගුවන් සඳහා අවසර හිමිවන්නේ සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුවයි. සංචාරකයින් සඳහා පහසුකම් සපයන සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම හෙවත් PPE ඇඳුම පැළදීම අනිවාර්ය වන අතර එය කඩ කරන පුද්ගලයින් අනිවාර්යෙන් දින 14 ක නිරෝධායනයකට යොමු කෙරේ. සංචාරකයින් සඳහා පිහිනීම් තටාක , පොදු ස්ථානවල හා සම්බාහන මධ්‍යස්ථානවල පහසුකම් සැපයිය හැක්කේ දුරස්ථභාවය තබාගෙනයි. සංචාරකයින් මෙරට තුළ සංචාරය කරන විට එම ස්ථානය දේශීය සංචාරකයින් සඳහා විවෘත වන්නේ නැහැ. සංචාරකයින් සඳහා ඔවුන් නැවති සිටින හෝටලය තුළ පහසුකම් සපයන්නන් දින 28 ක් නිරෝධායනය විය යුතුයි.

සංචාරකයින් ගෙන්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව කියවන්න..