by Staff writer 07-01-2021 | 9:30 PM
COLOMBO (News 1st) : ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා ශ්‍රී ලංකා සංචාරය නිමකර අද පස්වරුවේ මෙරටින් පිටත්ව ගියේ ය.
ඔහු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණේ ඊයේ පස්වරුවේ ය.
එහිදී දෙරටටම ප්‍රතිලාභ ලබාගත හැකි අංශ තවත් ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවිය.
මෙරට ජනතාව වෙනුවෙන් පසුගිය වකවානුවේ නිවාස ඉදිකිරීමට ඉන්දීය රජය ලබා දුන් අනුග්‍රහය පිළිබඳව විපක්ෂ නායකවරයා එහිදී කෘතවේදීත්වය පළ කර තිබේ.
විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ, ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස එස්. ජෙයිශංකර් මහතා විපක්ෂ නායකවරයාට ඇරයුම් කළ බවයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පක්ෂයේ නියෝජිතයින් අද පෙරවරුවේ ඉන්දීය අමාත්‍යවරයා හමුවිය.
ඒ, කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් නිල නිවසේදී ය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය, උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ජා කළ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේ ය.
මෙම හමුවේදී බලය බෙදා හැරීම හා පළාත් සභා පිළිබඳව ද සාකච්ජා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමාන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් සහ දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද වෙන වෙනම හමුවිය.
රාජ්‍ය තාන්ත්‍රික ධූරාවලියෙන් බැහැරව ජෙයිශංකර් මහතා, එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම ද විශේෂත්වයකි .