වොෂින්ටනය කැළඹෙයි..

බයිඩ්න්ගේ ජය තහවුරුවීමෙන් වොෂින්ටනය කැළඹෙයි: ට්‍රම්ප්ට ට්විටර් තහනමක්..

by Staff writer 07-01-2021 | 6:52 AM

News 1st - අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වොෂින්ටන් නුවර විරෝධතාකරුවන්ගේ අක්‍රමණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විරෝධතා අතරතුර එක් කාන්තාවක් මියගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක රෆායෙල් වර්නොක් සිය ජය තහවුරු කර ගත්තේ, රිපබ්ලිකන් පක්ෂයේ කෙලී ලොෆ්ලර් පරාජය කරමිනි. අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පූර්ණ බලය හිමිකර ගැනීම සඳහා ජනාධිපති ධූරයට තේරී පත් වී සිටින ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට හැකි විය. ඒත් සමග අමෙරිකාවේ අගනුවර වන වොෂින්ටන්හි ට්‍රම්ප් හිතවාදි කණ්ඩායම් විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ඉතා ප්‍රචණ්ඩ අයුරින් ට්‍රම්ප් හිතවාදීන් විදි බැස කලහාකාරී අන්දමින් හැසිරෙන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇත. කැපිටල්හිල් ගොඩනැල්ලේ දොරටු වසා ආරක්ෂාව තර කර තිබුණ ද විරෝධතාකරුවන් ඉතා ප්‍රචණ්ඩ අයුරින් ඒ තුළට ඇතුළුවීමට උත්සහ දරා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් යෙදුව ද තත්ත්වය පාලනය කර ගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බවයි. සභාගර්භයේ කතානායක පුටුව පවා විරෝධතාකරුවන් සිය සන්තකයට නතු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොන්ල්ඩ් ට්‍රම්ප් පරායට වුවද රිපබ්ලිකන් පාක්ෂිකයින් එය පිළිනොගන්නා බව මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා තුළින් පෙනීයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප් ඇතුළු පාර්ශව ගණනාවක් ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය වංචනික අන්දමින් ලබා ගත් බවට චෝදනා නැගුව ද මේ වනතුරුත් එවන් කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට සමත් ව නැත. එළඹෙන ජනවාරි 20 වැනි දා අමෙරිකාවේ තේරිපත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් 46 වන විධායක ජනාධිපති ලෙස ධුරයේ දිව්රුම් දීමට ද නියමිත වේ. වොෂින්ටන්හි ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට ද මේ වනවිට සීමා පනවා ඇති අතර ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පැය 12 ක කාලයකට අවහිරි කර තිබේ.