ඉන්දීය කොවිඩ් එන්නත ලංකාවට දෙන්න සූදානම්...

ඉන්දීය කොවිඩ් එන්නත ලංකාවට දෙන්න සූදානම් - ඉන්දීය විදේශ ඇමති

by Sagarika Chathumali 06-01-2021 | 4:57 PM

COLOMBO (News 1st) : ඉන්දියාව නිෂ්පාදනය කරන Covid-19 එන්නත අපනයනයේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනපති හමුවේ පවසා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළ බවයි. ජනාධිපතිවරයා මෙම හමුවේදී පවසා ඇත්තේ, ඉන්දියාව නිෂ්පාදනය කරමින් සිටින කොවිඩ් එන්නත ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පසු ලබා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවයි. එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පොරොන්දු වී ඇත්තේ, එන්නත අපනයනයේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවටයි. මේ අතර ඉන්දීය සහභාගීත්වය සහිතව දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව සහයෝගීතා වර්ධනය පුළුල් කළ හැකි තවත් ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, LNG බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය, විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය ඒ අතර විය. එමෙන් ම කොවිඩ් 19 වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හවුමාරු කර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ඉන්දීය විදේශ සබඳතා අමාත්‍යාංශයේ සම ලේකම්වරුන් වන අමිත් නාරං සහ ආචාර්ය ශිල්පක් අම්බුලේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසූන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ද සාකච්ඡාවට එක්ව සිට ඇත.