මෙරට කොරෝනා නවතම තත්ත්වය

කොරෝනා ආසාදිතයින් හමුවූ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ මෙන්න

by Sagarika Chathumali 06-01-2021 | 9:14 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනය (5) තුළ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 484 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසූවේ, ඉන් ආසාදිතයින් 5 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගැනුණු බවයි. ඉතිරි ආසාදිතයින් පිරිස දේශීයව හඳුනා ගෙන ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වන ආසාදිතයින් 121 දෙනා හඳුනා ගෙන ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඊට අමතරව ගම්පහ , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 109ක්, 30ක් සහ 25ක් ලෙස වාර්තා වී ඇත. ඉතිරි ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ දිනය තුළ තවත් පුද්ගලයින් 445 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 38,262 ක් දක්වා ඉහළ ගියේ ය. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 7247 දෙනෙකු පමණි. මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 45726 ක් වන අතර පසුගිය පැය 24 තුළ වාර්තා වූ නව මරණ දෙකත් සමග මරණ සංඛ්‍යාව ද 217 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වී තිබුණේ මාතලේ සහ කළුතර යන ප්‍රදේශවලිනි. අද උදෑසන වන විට රටවල් කිහිපයක සිට ලාංකිකයින් 206 දෙනෙකු මෙරටට පැමණ ඇති අතර අද දිනයේ තවත් 59 දෙනෙකු දිවයිනට ළඟා වීමට නියමිත අතර එලෙස පැමිණෙන සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයින් 5037ක් නිරෝධායනය වෙමින් සිටිති. ඊයේ (5) මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 10,774කි.