පිට රට සිට පැමිණෙන ලාංකිකයින් හෝටල් තුළ අනිවාර්යයෙන්ම නිරෝධායනය විය යුතු බවට සමාජ මාධ්‍යයේ යන කතාව බොරුවක් - යුද හමුදාපති

by Staff writer 03-01-2021 | 3:14 PM

COLOMBO (News 1st) - විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හෝටල් තුළ අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතු බවට නීතී පනවා ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යය බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, විදේශවල සිට පැමිණෙන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට යුද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනයට පහසුකම් සලසා ඇති බවයි. එහෙත් හෝටල් තුළ නිරෝධායනය වීමට අවශ්‍ය බව කියන පිරිසට පමණක්, ගාස්තු ගෙවා නිරෝධායනට යොමු වීමට පහසුකම් සලසා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. මේ අතර කොරෝනා මර්දන කටයුතු සඳහා සෑම දිස්ත්‍රික්කයකටම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු පත් කිරීම පිළිබඳව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 44,371 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 502 ක් හඳුනා ගැනීමත් සමගිනි. වෛරසය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,443කි. කොරෝනා ආසාදිතයින් 562 දෙනෙකු ඊයේ සුවය ලැබුවේ ය. ඒ සමග මෙරට කොරෝනා රෝගයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 36,717 කි. මේ අතර තවත් කොරෝනා මරණ 3ක් ඊයේ වාර්තා විය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 211 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.