පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව

by Chathurika Jayasundara 03-01-2021 | 11:32 AM

COLOMBO (News 1st) – ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට සමාව ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා සඳහන් කළේ, එම තීරණය අධිකරණ අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවය. නීති විරෝධී අන්දමින් ටී.56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාළිගාවත්ත, බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට පසුගිය වසරේ ජුනි 01 වැනි දා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම දඬුවම නියම කළේ, ස්වයංක්‍රීය ගිනි අවි සහ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීමේ අධි චෝදනාවට විත්තිකාර හිමියන් වරදකරු කරමිනි. 2010 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ජනවාරී 02 වැනි දා විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි සඟවා තිබූ එම අවි තොගය සොයා ගෙන තිබුණි. ඌවතැන්නේ සුමන හිමියන්ට අමතරව එම විහාරස්ථානයේ විහාරවාසී මාවෙල සුබෝධ හිමි සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යැයි කියන පී. රාජබාලන්, කේ. තමිල්සෙල්වම් සහ චන්ද්‍රනම් සුබ්‍රමනියම් යන අයට ද අධි චෝදනා එල්ල වූ අතර නඩු විභාගය අතරතුරදී ඔවුන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේ ය.