UPDATE: පානම කොටියා සොයා මෙහෙයුමක්..

by Staff writer 02-01-2021 | 7:16 AM

COLOMBO (News 1st) -  අම්පාර, කුඩුම්බිගල අභයභූමිය ආශ්‍රිතව යුද හමුදාව සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කළ බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දින 3 ක් ඇතුළත පානමදී ගොවීන් දෙදෙනෙකුට පහරදුන් කොටියා සොයා ගැනීම සඳහායි. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, කුඩිම්බිගල අභයභූමිය තුළ පිහිටි කුඹුරුවල කටයුතු කරමින් සිටියදී එම ගොවීන් කොටියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි. කොටියාගේ පහරකෑමට ඊයේ පස්වරුවේ ලක් වූ පුද්ගලයකු මේ වනවිට පොතුවිල් රෝහලේ ප්‍රතිකාර ලබයි. පසුගිය දා පානමදි එම කොටියා සපාකෑමෙන් 56 හැවිරිදි පුද්ගලයකු මිය ගියේ ය. වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මෙහෙයුම්වලින් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන මෙම කොටියා සොයා ගැනීමට හැකිවනු ඇති බවයි. ඉන් අනතුරුව සුදුසු පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර කොටියාගේ ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ තුවාල ලැබීමත් සමග කලහකාරී ලෙස හැසුරුණු පිරිසක් පානම වනජීවි කාර්යාලයේ දේපොළවලට හානි කර තිබුණි. සිද්ධියට සම්බන්ධ 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ය.