යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණ 05වැනි දිනයේම මිරිස්ස සහ යාල බලන්න යයි..

by Staff writer 02-01-2021 | 7:15 PM

COLOMBO (News 1st) – යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් 175 දෙනෙකු අද දිවයිනට පැමිණියේ ය.

අප වාර්තාකරු පැවසුවේ, අද පස්වරු පස්වරු 2.00 ට පමණ මෙම පිරිස මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි බවයි. මේ අතර මීට පෙර යුක්‍රේනයෙන් මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් පිරිසක් අද දිවයිනේ ස්ථාන කිහිපයක සංචාරය කළේ ය. යුක්‍රේන සංචාරකයින්ගෙන් පිරිසක් අද උදෑසන මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමේ නිරත විය. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ද මෙම සංචාරකයින් පිරිස සමග එක්ව සිටියේ ය. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා
අද 03 වැනි ගුවන් යානාව මත්තල ගුවන් තොටුපොළට එනවා. මගීන් 178ක් සමග. වැදගත්ම දේ වෙන්නේ ඒ මගීන් අතර කුඩා ළමුන් 32ක් ඉන්නවා. ඒ වගේම අපි හිතනවා, අපි තල්මස්සු බලන්න යයි. අපිට ඉක්මණට කරගන්න පුළුවන් වුණ නිසා අද එක නැවයි යන්නේ. නමුත් ඉදිරියට ඊට වැඩි වෙයි. ඇත්තටම අපිට හැමෝගේම සහයෝගය ලැබුණා . මම හිතනවා සංචාරක ව්‍යාපාරය, සංචාරක කර්මාන්තයේ නියුතු හැමෝටම මේක සුභ ආරංචියක් වෙයි. අපි බලාපොරොත්තු වෙනවා මත්තල ගුවන් තොටුපොළට දවස ගානේ ගුවන් යානා රුසියාවෙන්, කසකස්ථානයෙන්, ඒ වගේම දැනටම ආරම්භ කර තිබෙනවා යුක්‍රේන රාජ්‍යයේ සිට එය ඉදිරියටම ගෙනියන්න මගේ සම්පූර්ණ උපරිම කැමවීම සිදුකරනවා.
මේ අතර තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් අද යාල වනෝද්‍යානයේ සංචාරය කළේ ය. යුක්‍රේනයේ සිට සංචාරකයින් 180 දෙනෙකු රැගත් ගුවන් යානයක් පසුගිය දෙසැම්බර් 28 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණියේ ය. ඔවුන්ගෙන් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් සෙසු සංචාරකයින්ට බලපෑමක් නොවන බව සංවාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඊට හේතු දක්වමින් සංචාරක අධිකාරිය පවසන්නේ, මෙම සංචාරකයින් පිරිස සමාජය සමග ගැටීමක් සිදු නොවන බැවින් දින 14 ක නිරෝධායන කාලයෙන් තොරව සංචාරය කිරීමට අවස්ථාව හිමිව ඇති බවයි. මෙම සංචාරකයින් පිරිස මෙලෙස සංචාරයේ නිරත වන්නේ, මෙරටට පැමිණ 05 වැනි දිනයේදී ය.