ග්‍රාමීය කාන්තාවන් 90%ක්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලක

ග්‍රාමීය කාන්තාවන්ගෙන් 90% ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලක: දැනුවත් කිරීම් අද සිට ඇරඹේ

by Staff writer 02-01-2021 | 7:10 AM

COLOMBO (News 1st) - ග්‍රාමීය දුප්පත් කාන්තාවන්ගෙන් 90%ක්ම කුමක් හෝ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක ණය උගුලක සිරවී ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වාර්ෂිකව 360%ක පමණ පොලියක් අය කරන බවයි. එම තත්ත්වය මත ඔවුන් දිළිඳු බවින් මුදවා ගැනීමේ දැඩි ගැටලු පැන නැගී ඇති බව ලේකම්වරයා පැවසීය. ඔහු සඳහන් කළේ, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමේ දී ඇතිවන අයහපත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අද සිට ආරම්භ කරන බවයි. එය අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරෙනු ඇති. මේ වනවිට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ණය උගුලට හසු වූ පිරිසෙන් බහුතරය උතුරු මැද කලාපයේ ජීවත් වේ. නීල් බණ්ඩාර හපුහින්න මහතා ප්‍රකාශ කළේ, ග්‍රාමීය දිළිඳු ජනතාවට අවශ්‍ය ණය පහසුකම් ලබා දීම සඳහා සමෘද්ධි බැංකු හරහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි. මේ අතර සමෘද්ධි බැංකු හරහා සමෘද්ධි ලාභින්ට සහ සමෘද්ධි ලාභින් නොවන අඩු ආදායම් ලාභින්ට සහන පොලී යටතේ ණය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ය.