කුරුණෑගල රජ පීල්ල උද්‍යානයේ පැරණි වෘක්ෂ ඇතුළු ගස් 32ක් සංවර්ධන ව්‍යපෘතියකට බිලි: පෞරාණික මණ්ඩපයකුත් කඩා දමයි

by Staff writer 02-01-2021 | 7:09 PM

COLOMBO (News 1st) -  සංවර්ධනය රටකට අත්‍යවශ්‍ය සාධකයකි.

නමුත් අපේ කම, අපේ සංස්කෘතිය සහ ඉපැරණි දේශිය උරුමයන් වැනසෙන සංවර්ධනය රටකට උචිත නොවේ. නගර අලංකරණය සහ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නිසා විනාශ වුණු පෞරාණික ස්ථාන පිළිබඳව අප දිගින් දිගටම ඔබට තොරතුරු වාර්තා කළේය. කුරූණෑගල නගර මධ්‍යයේ ඇති ඉපැරණි රජ පීල්ල උද්‍යානයත් දැන් එවැනි සංවර්ධන වැඩපිළිවෙළක බිල්ලක් බවට පත්ව අවසන්ය. කුරුණෑගල නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නිවා ගන්නට යන ස්ථාන අතර කුරුණෑගල නගර මැද තියෙන රජ පීල්ල උද්‍යානය ප්‍රධාන තැනක් ගනී. නමුත් අද වනවිට ඒ වසර සිය ගණනක් පැරණි රජ පීල්ල උද්‍යානයේ ඇති විශාල ගස් කපා බිම දමා තිබේ. මෙම ඉපැරණි රජ පීල්ල උද්‍යානය අදියර 2ක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර වන , උද්‍යානයේ ඇති ගස් ඉවත් කිරීම පෞද්ගලික ආයතනයකට භාර දී තිබේ. රජ පීල්ල උද්‍යානයේ ඇති ගස් 28 ක් ඉවත් කිරීමට පමණක් සලකුණු කර තිබුණ ද මේ වන විට ගස් 32 කට ආසන්න ප්‍රමාණයක් කපා උගුල්ලා අවසන් ය. මේ අතර උද්‍යානයේ තිබූ වසර සිය ගණනක් පැරණි පෞරාණික මණ්ඩපයක් ද මුළුමනින්ම කඩා දමා තිබේ. මේ සම්බන්ධයෙන් අප කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාගෙන් විමසුවේය. ඔහු පැවසුවේ හෙට දිනයේ මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන බවය.