ගඟ මැද්දේ එක්වන, ගුවනින් එන නව කැලණි පාලම

by Staff writer 01-01-2021 | 9:59 PM

COLOMBO (News 1st) - 2021 අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්වීමට නියමිත වර්ෂයකි.

මාර්ග තදබදයට විසඳුම් සපයන නව කැලණි පාලමේ ඉදිකිරීම් අද විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිරීක්ෂණය කළේ ය. කිලෝමීටර් 3 ක පමණ දිගකින් යුක්ත නව කැලණි පාලම ව්‍යාපෘතිය මෙරට සංවර්ධන ව්‍යාපෘති අතර ප්‍රමුඛ වුවකි. හුවමාරු මධ්‍යස්ථාන හා ප්‍රවේශ මාර්ග සහිත මංතීරු 6 කින් සමන්විත නව කැලණි පාලමේ ඉදිකිරීම් මේ වනවිට අවසාන අදියරට ළඟා වී තිබේ. ඒ සඳහා ජපන් සහයෝගීතා ආයතනයේ ණය ආධාර මත වැය කෙරෙන මුදල ජපන් යෙන් මිලියන 35020 කි. මේ සඳහා රජය අත් කරගෙන ඇති මුළු භූමිය හෙක්ටයාර 12 යි 9ක් වන අතර නව පාලම ක්‍රියාකරනුයේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා කුළුණු මත ඉදිවන මාර්ග ව්‍යාපෘතිවල සම්බන්ධක පාලම ලෙසයි. මෙහි ඉදිකිරීම් ඉකුත් වසරේ අවසන් වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එය මදක් ප්‍රමාද වී තිබෙන්නේ දෛනික සේවක සංඛ්‍යාව 1500 සිට 700 ක් දක්වා අඩු කිරීමට සිදුවීම හේතුවෙන් ය. ව්‍යාපෘති අධ්‍යක්ෂ දර්ශිකා ජයසේකර මහත්මිය කියා සිටියේ, මේ වනවිට ව්‍යාපෘතියේ 89% ක පමණ වැඩ අවසන්ව ඇති බවයි. තවදුරටත් කැලණි ගඟ ඔස්සේ ඉදිකිරීමට නියමිත කොටස මීටර් 9 ක් පමණ වන බව ද ඇය පැවසුවාය.