හිටපු ජනපති මෛත්‍රීපාලගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

සාධාරණ ආසන ප්‍රමාණයක් පළාත් සභා ඡන්දයේදී නොලැබුණහොත් ශ්‍රීලනිපය තීරණය කරයි තනි ගමනක් යන්න - හිටපු ජනපති මෛත්‍රීපාලගෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 31-12-2020 | 5:47 PM

COLOMBO ( News 1st ) : අපේක්ෂා කරන සාධාරණ ආසන ප්‍රමාණයක් පළාත් සභා ඡන්දයේදී ලබා දීමට ආණ්ඩු පක්ෂය අපොහොසත් වන්නේ නම්, තනි ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනතුරු අඟවයි.

ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, 2020 මහ මැතිවරණයේ අපේක්ෂකයින් තෝරා ගැනීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බවයි.
''අපිට අපේක්ෂකයින් 30 ක් ලබාදෙන ලෙස අපි ඉල්ලුවා. පසුගිය මහමැතිවරණයේදී අපිට 30 ක් දුන්න නම් අනිවාර්යෙන් පාර්ලිමේන්තු ආසන 25 ක් අපේ පක්ෂයට ලැබෙනවා. අපේ අපේක්ෂකයින්ට ආණ්ඩු පක්ෂයෙන් සංවිධානාත්මක විදිහට දේශපාලන ප්‍රහාර එල්ල වුණා. අපි තවමත් පළාත් සභා ඡන්දයේදී සන්ධානගතව තරග කරන්න බලාපොරොත්තු වෙනවා. අපි තරයේ අපේක්ෂා කරනවා සාධාරණ ආසන ප්‍රමාණයක් අපිට ලැබෙයි කියලා. එහෙම වුණොත් කිසි ප්‍රශ්ණයක් නැහැ අපිට ආණ්ඩු පක්ෂය සමග එකට තරග කරන්න පුළුවන්. නමුත් සාධාරණ සැලකීමක් නොකළොත් අපේ පක්ෂය තීරණය කරයි තනි ගමනක් යන්න''
19 වන සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රසාදයක් නැතැයි පෙන්වා දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා හින්දු පුවත්පත සමග පවසා ඇත්තේ තවදුරටත් තමන් ධුරයේ සිටියේ නම් 19 වන සංශෝධනයේ ඇතැම් වෙනස්කම් සිදුකර එය තවදුරටත් ශක්තිමත් කරන බවය.
''මම කළ සෑම දෙයක් පිළිබඳවම මට සතුටුයි. මම හැමදෙයක්ම කළේ , යහපත් චේතනාවෙන්. මගේ කාලය ඉතිහාසයට එක්වන්නේ ආණ්ඩුවේ තුවක්කු කිසිදු පුරවැසියෙකුට එරෙහිව ක්‍රියාත්මක නොවූ කාලසීමාවක් ලෙසයි. මගේ කාලයේ සෑම දිනකම සරසවි සිසුන්, කම්කරුවන් මහ පාරේ උද්ඝෝෂණ කළා. මම පොලීසියට හා හමුදාවට පැහැදිලිවම නියෝගකර තිබුණේ කිසිවිටෙක වෙඩි නොතබන ලෙසයි. මේ උද්ඝෝෂණ මට මානසික වශයෙන් පීඩාවක් එල්ල කළත් මම ඔවුන්ට දැනුම් දුන්නේ නීතිමය පියවර පසුව ගන්න පුළුවන් නමුත් එක උණ්ඩයක් හෝ එල්ල නොකරන ලෙසයි''
කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමේ අයිතිය මුස්ලිම් ජාතිකයින්ට හිමිවිය යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ද හින්දු පුවත්පතට පවසා තිබේ. ඔහු අවධාරණය කරන්නේ, එම සිරුරු භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති පසුබිමක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු ලෙස තමන්ද එම මතය සමග එකඟ බවයි. වසර 30 ක කාලයක් මෙරට පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වුවත් ඒ සම්බන්ධව විධිමත් අධ්‍යයනයක් මෙතෙක් සිදුකර නොමැති බව ද පුවත්පත නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ති‌බේ. ඔහු යෝජනා කර ඇත්තේ, මෙම ආයතනවලින් අපේක්ෂා කරන ජනතා සේවය සැබෑ ලෙසම ඉටුවන්නේදැයි ආණ්ඩුව විශ්ලේෂණයක් කළ යුතු බවයි. පළාත් සභා සඳහා වාර්ෂිකව වෙන්වන ප්‍රතිපාදනවලින් සංවර්ධන කටයුතුවලට යොදවන්නේ සියයට 25 ක් පමණක් බවත් ඉතිරි සියයට 75 වැටුප්, වාහන, දුරකතන සහ විදුලිය ඇතුළු එදිනෙදා වියදම් සදහා යොදවන බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. පළාත් සභාවල අධික සේවක ප්‍රමාණය සහ සභික සංඛ්‍යාව අඩු කිරීමට යෝජනා කරන මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව වැනි රටවලට දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් වඩාත් සුදුසු බවය. කෙසේවෙතත් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කිරීම ගින්දර සමග කරන සෙල්ලමක් බව ද ඔහු හින්දු පුවත්පත සමග පවසා තිබේ.
''13 වන සංශෝධනය ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක්. පළාත් සභා පනත ගෙන එන්නේ 13 වන සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙසයි. මම දන්නවා පළාත් සභා අහෝසි කිරීම පහසු දෙයක් නෙමෙයි. 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළෝත් ඉන්දියාව අපත් සමග අමනාප වෙන්න පුළුවන්. අපේ කලාපය තුළ ඉන්දියාව සමග ශ්‍රී ලංකාවට ඇති සබඳතාව ඉතාමත් වැදගත්. සියලුම රජයන් මේ සබඳතාව ශක්තිමත් කළ යුතුයි. පළාත් සභා අහෝසි කිරීම හරියට ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ දෙයක්''