මහර කමිටු වාර්තාව:යෝජනා ඉක්මණින් ක්‍රියාත්මක කරනවා

මහර ගැටුම: කමිටු වාර්තාවේ යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරනවා - අධිකරණ අමාත්‍යාංශය

by Staff writer 31-12-2020 | 8:23 AM

COLOMBO (News 1st) - මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව ලබා දුන් වාර්තාවේ සඳහන් යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, එම වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කරන බවය. එම වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව, කමිටුවේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට ඊයේ පස්වරුවේ භාර දුන්නේ ය. කමිටුවේ සෙසු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී. ආර්. එල්. රණවීර යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සි⁣ටියහ. පසුගිය මස 29 වැනි දා පත් කළ කමිටුවට සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදීම සඳහා මසක කාලයක් ලබා දී තිබුණි.