අපරාධයක වින්දිතයෙකු වෙන්න එපා..!

ප්‍රවේසමෙන්! සමාජ මාධ්‍යයෙන් එන පණිවුඩවලට රැවටෙන්න එපා...

by Sagarika Chathumali 31-12-2020 | 10:00 AM

COLOMBO (News 1st) : සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පණිවුඩ එවමින් මුදල් වංචා කරන පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දී සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ, ත්‍යාග මුදලක් හෝ ත්‍යාගයක් හිමි වන බව පවසමින් අනතර්ජාලය ඔස්සේ අද (31)දිනයේ ලැබෙන පණිවුඩවලට නොරැවටෙන ලෙසයි තවද  අද (31) වැනි තීරණාත්මක දිනයකදී විදෙස් රටක මිතුරෙකු නව වසරට ත්‍යාගයක් එවා ඇති බවට, ත්‍යාගයක් එවීමට බලාපොරොත්තු වන බවට හෝ යම් ස්ථානයක එම ත්‍යාගය රඳවා ගෙන ඇති බව පවසමින් යම් මුදලක් තැන්පත් කරන ලෙසට Facebook, whatsapp, Viber, ‎imo වැනි සාමාජ ජාලා ඔස්සේ ජංගම දුරකතනයට, විවිධ පණිවුඩ ලැබිය හැකි බව ද ඔහු පැවසී ය. එවැනි වංචනික පණිවුඩවලට නොරැවටෙන ලෙසත් නොදන්නා අයගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසත් පොලීසිය වැඩිදුරටත් දැනුම් දී සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කර සිටියේ, දේශීය වශයෙන් මෙන්ම සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින විදේශිකයින් ද මෙවැනි වංචනික ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවයි. සංචාරක වීසා මත මෙරටට පැමිණ විවිධාකාරයේ මෙවැනි වංචනික ක්‍රියා සිදු කළ නයිජීරියානු ජාතිකයින් 24දෙනෙකු පමණ පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන තිබේ. මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, මීට සතියකට පමණ පෙර නයිජීරියානු ජාතිකයෙකු  විසින් සමාජ මාධ්‍ය ඔස්සේ  කාන්තාවකගෙන්  කෝටි 3කට ආසන්න මුදලක් වංචනිකව ලබා ගෙන තිබූ බවයි. පොලීසිය ජනතාවගේ වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, අපරාධකරුවෙකුගේ අපරාධයක වින්දිතයෙකු නොවී සිටිමට වගබලා ගන්නා ලෙසයි.