ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් MTV සමාගමට පැනවූ නඩුව..

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කර ඇති නඩුව යළි කැඳවයි..

by Staff writer 30-12-2020 | 8:34 PM

COLOMBO (News 1st) - ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කර ඇති අපහාස නඩුව අද කොළඹ අතිරේක දිසා විනිසුරු ලක්මාලි ද සිල්වා මහත්මිය ඉදිරිපිටදී කැඳවනු ලැබිණි.

එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා වාරණ නියෝගය දීර්ඝ කිරීමට එරෙහිව විරෝධතා දැක්වූයේ අධිකරණයට මීට පෙර ඉදිරිපත් කළ කරුණු මත පදනම්වයි. අතුරු තහනම් නියෝගය පිළිබඳව කරුණු විමසීම 2021 වසරේ ජනවාරි 08 වැනි දිනට නියම කර ඇති නිසා වාරණ නියෝගය දීර්ඝ කළ යුතු බව ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයේදී පැවසුවේ ය. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරුතුමිය විත්තිකාර පාර්ශවයේ ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ විරෝධතාවයන්ට යටත්ව 2021 වසරේ ජනවාරි 08 වැනි දා තෙක් පමණක් වාරණ නියෝගය දීර්ඝ කිරීමට නියෝග කළේ ය. මීට පෙර දිනක අධිකරණයේ කරුණු දක්වමින් එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන්, නීතීඥ ජීජී අරුල් ප්‍රගාසම් මහතා විරෝධතා ගොනුකරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ල නිශ්ප්‍රභ කරන ලෙස සහ පැමිණල්ලෙන් අයද ඇති අතුරු සහන ප්‍රතික්ෂේප කර සියයට 500 ක නඩු ගාස්තු අය කර දෙන ලෙසය. මීට අමතරව එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම තම උත්තරය මගින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමෙන් බිලියන 20 ක් ඉල්ලා හරස් ඉල්ලීමක් ගොනු කළේ ය. එමගින් පෙන්වා දී ඇත්තේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම අතුරු තහනම් නියෝගය ලබාගෙන ඇති ආකාරය නිස්සාර සහ ද්වේශ සහගත වන බවත් පැමිණිලිකරු විසින් අධිකරණ ක්‍රියාවලිය අපයෝජනයට මෙන්ම අවභාවිතයට ලක් කර ඇති බවයි. තවද ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමෙන් ගොනු කර ඇති නිස්සාර සහ ද්වේශසහගත නඩු නිමිත්ත මගින් දේශීය මෙන්ම විදේශීය මාධ්‍ය ආයතන අතරේ ගෞරවයට පාත්‍ර වූ නිවුස් ෆස්ට් - එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමේ ප්‍රතිරූපයට බරපතල හානියක් සිදුව ඇති බව එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම ගොනු කළ උත්තරයෙන් අධිකරණයට පෙන්වාදී තිබේ. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, නිතීඥ ජීවන්ත ජයතිලක, නිරංජන් අරුල්ප්‍රගාසම්, දමිත කරුණාරත්න, එන්.කේ.අශෝක් බරන්, මියුරු ඉගලහේවා සහා තවත් නීතිඥවරුන්, නීතිඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත විත්තියේ පාර්ශවය වන එම්.ටි.වී චැනල් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටියේ ය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතීඥ රුවන්ත කුරේ මහතා පෙනී සිටියේ ය.