උපරිමාධිකරණයේ ගින්න ඇති වූයේ දුම්වැටියකින් ද?

උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න ඇති වූයේ දුම්වැටියකින් ද?

by Staff writer 29-12-2020 | 10:06 AM

COLOMBO (News 1st) - කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න භාවිතයෙන් පසු ඉවත් කරන ලද දුම්වැටියකින් ඇති වූ බවට වන මතය බැහැර කළ නොහැකි බව, රජයේ රස පරීක්ෂක වාර්තාව පෙන්වා දී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, අදාළ ගින්න ඉන්ධන යෙදීමකින් හෝ විදුලි කාන්දුවකින් සිදුවී නොමැති බවට තහවුරු වන බව, රස පරික්ෂක වාර්තාවේ සඳහන් බවයි. දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, උපරිමාධිකරණ සංකීර්ණයේ සේවයේ නියුතු සුළු සේවකයින් කිහිපදෙනෙකු අදාළ පරිශ්‍රයේ රහසිගතව දුම්වැටි පානය කර ඇති බවයි. පොලීසිය පෙන්වා දෙන්නේ, ගින්න ඇතිවීමට බලපෑ බව කියන දුම්වැටි පානය කළ පුද්ගලයා කවුරුන්ද යන්න දීර්ඝ ලෙස විමර්ශනය කරන බවය. මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් මගින් විමර්ශන ක්‍රියාත්මක වේ. දැනට අනාවරණ වී ඇති කරුණු සහ රස පරීක්ෂක වාර්තාවේ කරුණු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව, පොලීසිය ප්‍රකාශ කළේය. පසුගිය 15 වැනිදා මෙම ගින්න හටගත්තේ ගොඩනැගිල්ලේ බිම් මහලේ අබලි ද්‍රව්‍ය රැස්කර තිබූ ගබඩාවකයි. ගින්නෙන් එම ගබඩාවට හැර ලේඛනාගාරයට හෝ වෙනත් දේපොළකට හානි සිදුව නොමැත.