පළාත් සභා එපා!- බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

පළාත් සභා එපා!: ගම් සභා ක්‍රමය නැවත යථාවත් කරන්න - බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

by Staff writer 27-12-2020 | 9:43 PM

COLOMBO (News 1st) - මහ මැතිවරණයෙන් පසු නව ව්‍යවස්ථාවක් සැකසීමට දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා රජය විශේෂ විද්වත් මණ්ඩලයක් පත්කිරීම ගැන සතුටු වන නමුත්, එම බලාපොරොත්තු විනාශ කරමින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කිරීම දැඩි කනස්සල්ලට හේතු වී ඇතැයි බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ 11 නමක් හා බෞද්ධ නිලධාරීන් 18 කගේ අත්සන් සහිතවයි. අදාළ විද්වත් මණ්ඩලයේ වාර්තාව ඉදිරි මාස තුන ඇතුළත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී තවත් වසර 5කට නව පළාත් සභා පත් කිරීමට පියවර ගැනීමෙන් නව ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳ රජයේ අරමුණෙහි සද්භාවය ගැන සැකයක් ජනතාව තුළ ඇති වී තිබෙන බව ද මෙම නිවේදනයේ සඳහන් වේ. නිවේදනයේ දැක්වෙන්නේ, විද්වත් වාර්තාව ඉදිරිපත් වන තෙක් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සඳහා නව නීති ගෙන ඒමට හෝ වෙනත් පියවර ගැනීමෙන් වළකින ලෙසය. 13 වන සංශෝධනයෙන් හදුන්වා දුන් පළාත් සභා ව්‍යුහයෙන් රටේ පළාත් පාලන ආයතන ව්‍යුහය දුර්වල වී රට බෙදීම ද ජාතීන් අතර සමගිය, සහජීවනය හා සුහදත්වය බිඳ දැමීම ද සිදුව ඇතැයි බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පවසයි. එහෙයින් ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුය යන්න, බහුතර ජනතාවගේ මතය වී ඇති බව ද නිවේදනයේ සඳහන් වේ. පළාත් සභා ව්‍යුහයෙන් ඉවත් වී අපේ රටට ගැලපෙන පළාත් පාලන ආයතන හා ගම් සභා ක්‍රමය නැවත යථාවත් කර ශක්තිමත් කරන ලෙස රජයෙන් මෙන්ම ප්‍රති පක්ෂවලිනුත් ඉල්ලා සිටින බව ද බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පවසයි. දේශහිතෛෂී ජනතාවගේ වරමින් බලයට පැමිණි රජය, පළාත් සභා මැතිවරණයක් මේ අවස්ථාවේදී පවත්වා බෙදුම්වාදීන්ගේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට කටයුතු කරන්නේ මන්දැයි අපට සිතාගත නොහැකි බව ද මේ නිවේදනයේ ඇතුළත් වේ. ඇතැම් දේශපාලනඥයින්ගේ අවශ්‍යතා මත නෑදෑ හිතමිතුරන්ට තනතුරු හා වරප්‍රසාද සකස් කර ගැනීමේ හා මැතිවරණවලදී ජනතා දේපල අයුතු ලෙස පරිහරණය කිරීමේ අභිලාෂයෙන් වත්මන් රාජ්‍ය යාන්ත්‍රණයේ වියවුලක් ඇති කිරීමට ඉඩ නොදෙන ලෙස රජයෙන් තරයේ ඉල්ලා සිටින බව ද බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.