චන්දිමාල් සහ ධනංජයගෙන් අර්ධ ශතක..

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 300 පසු කරයි: චන්දිමාල් සහ ධනංජයගෙන් අර්ධ ශතක..

by Staff writer 26-12-2020 | 8:54 PM

COLOMBO ( News 1st ) : ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සෙන්චූරියන්හිදී අද ආරම්භ විය.

මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කණ්ඩායම පන්දුවාර 81ක් අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 332කි. කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. මේ වසරේ ජනවාරි මාසයෙන් අනතුරුව දෙපිලම ටෙස්ට් තරගයකට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම 2012 වසරින් අනතුරුව නත්තල් දිනට පසු දින හෙවත් බොක්සිං දිනයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වන පළමු අවස්ථාව ද මෙය වේ. නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 28කට සීමා විය. කුසල් මෙන්ඩිස් ලකුණු 12කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 16යි. ලකුණු 54ක් තුළ මුල් පෙල කඩුලු 3 බිඳ වැටුණි. අනතුරුව පිටියේ ස්ථාවර වූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළේ ය. ඒ, සිව්වැනි කඩුල්ලට ලකුණු 131ක සබඳතාවක් ගොඩනගමින් ය. 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වනවිට ලකුණු 79යි. දිනේෂ් චන්දිමාල් 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේ ය. චන්දිමාල් ලකුණු 85කට දැවී ගියේය. නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම ලකුණු 49කට සීමා විය.