අපද්‍රව්‍ය ගැන බේසල් සම්මුති කාර්යාලයට පැමිණිලි..

කොත්තමල්ලි මුවාවෙන් ගෙන්වූ කෘෂි අපද්‍රව්‍ය ගැන බේසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කිරීමට පියවර

by Staff writer 25-12-2020 | 12:02 PM

COLOMBO (News 1st) : යුක්රේනයේ සිට මෙරටට ගෙන්වන ලද කෘෂි අපද්‍රව්‍ය බහාලුම් සම්බන්ධව බේසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ, පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහාලුම් 28 සම්බන්ධව බේසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී ඇති බවයි. බේසල් සම්මුතියට අනුව කෘෂි අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම සපුරා තහනම් කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද බේසල් සම්මුතියට අත්සන් තබන ලද රටකි . මෙම කෘෂි අපද්‍රව්‍ය මගින් විවිධ හානිකර තත්ත්වයන් මෙරට පරිසර පද්ධතියට ඇතුළු විය හැකි බව ද අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඒ අනුව බහාලුම් සියල්ලම යුක්රේනයේ අදාළ සමාගම වෙත ප්‍රති අපනයනය සඳහා කටයුතු කරන බවයි.