ඉතියෝපියානු ගමක් මළ ගමක් වෙයි

ඉතියෝපියානු ගමක් මළ ගමක් වෙයි

by Sagarika Chathumali 24-12-2020 | 1:08 PM
COLOMBO (News 1st) : බටහිර ඉතියෝපියාවේ ගම්මානයකට කඩා වැඳුණු නාඳුනන අවිගත් පිරිසක් එල්ල කළ ප්‍රහාරවලින් ගම්වැසියන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉතියෝපියානු මානව හිමිකම් කොමිසම පැවසුවේ, බෙනිෂාන්ගුල් - ගුමුස් කලාපයේ බෙකොජි ගම්මානයට අලුයම් කාලයේ කඩා වැඳුණු අවිගත් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. එරට සෞඛ්‍ය සේවකයින් උපුටා දක්වමින් විදෙස් වාර්තා කරන්නේ, වෙඩි වැදුණු සහ පිහිඇණුම් තුවාල සහිත පුද්ගලයින් 30කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර ඉන් කිහිපදෙනෙකු බරපතළ තත්ත්වයේ පසු වන බවයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, අග්‍රාමාත්‍ය අබී අහමඩ් බෙනිෂාන්ගුල් - ගුමුස් කලාපයේ සංචාරය කර දිනකට පසුව වීම ද විශේෂත්වයකි. අග්‍රාමාත්‍යවරයා එහි සංචාරය කර ඇත්තේ, පසුගිය මාස කිහිපයේ ජාතීන් පදනම් කර ගත් ප්‍රචණ්ඩක්‍රියා අවම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. අගමැති සිය සංචාරයෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ,ඉතියෝපියාව වාර්ගික හා ආගමික වශයෙන් බෙදීමේ සතුරන්ගේ අභිලාෂය වුවත් එය ඉටු නොවනු ඇති බවයි. පසුගිය සැප්තැම්බරයේ සිට අදාළ කාලාපයට ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබූ අතර නොවැම්බර් මාසයේ බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.