ලංකාව නියාමනයට සැරසෙන Digital Platform මොනවා ද?

ලංකාව නියාමනයට සැරසෙන Digital Platform මොනවා ද?

by Staff writer 23-12-2020 | 2:42 PM
COLOMBO (News 1st) : විදේශීය ආයතන මගින් ක්‍රියාත්මක වන අන්තර්ජාලය හා සම්බන්ධ සමාගම් හා යෙදුම් (Digital Platforms) මගින් මෙරට මෙරට මුදල් මහා පරිමාණයෙන් විදෙස් සමාගම් වෙත ගලා යාම පාලනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 21 වනදා නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළේ ය. ඒ අනුව රජයේ වැඩපිළිවෙළ වන්නේ, විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීම හරහා එම සමාගම් කිසියම් නියාමනයකට ලක් කිරීමයි. මෙම බහු ජාතික විදෙස් සමාගම් ඩිජිටල් දත්ත පාලනය මගින් මෙරට දේශීය ව්‍යාපාර යටපත් කරමින් ඇති බව ද නිවේදනයේ සඳහන් ය. කෙසේ වෙතත් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවේ. තව ද ලියාපදිංචි කිරීමට සැලසුම්කර ඇති මහා පරිමාණ විදෙස් ඩිජිටල් මෙහෙයුම්කරුවන් කවුරුන් දැයි මේ දක්වා පැහැදිලි කිරීමක් ද සිදු කර නැත. මහා පරිමාණ විදෙස් ඩිජිටල් සමාගම් ලෙස ගත් කළ ප්‍රධාන පෙළේ, සමාජ ජාල, අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කිරීමේ ආයතන, ඊ-මේල් හා දත්ත ගබඩා කරන යෙදුම් මෙන්ම ඒ හා ඈඳුණු විශාල ව්‍යාපාර ජාලයක් පවතී. සමාජ මාධ්‍යන්ට අදාළව සංඛ්‍යාලේඛන සම්පාදනය කරන DataReportal අනුව, පසුගිය ජනවාරි මාසය වන විට මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 6.4 ක් පමණ විය. https://www.youtube.com/watch?v=1vBjqDrk2dk&feature=emb_title

සමාජ ජාල නියාමයට ගත් උත්සාහයන්....

කරුණු කෙසේ වෙතත් Facebook වැනි සමාගම්වලට කිසියම් වාරණයන් දැමීමට උත්සාහ කිරීම් හමුවේ ලොව ඇතැම් රටවලට සිය උත්සාහයන් හකුලා ගැනීමට වූ අවස්ථා ද අසන්නට ලැබිණ. පසුගිය මාසයේ ඇතැම් ඩිජිටල් අන්තර්ගතයන් වාරණය කිරීම සඳහා දේශීය නියාමකයින් වෙත බලය පැවරීමට ක්‍රියා කළ පකිස්ථානයට Facebook, Google, සහ Twitter ආයතන අනතුරු අඟවා සිටියේ, එරටින් ඉවත් වන බවටයි. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සාමජ මාධ්‍ය ඔස්සේ සිදුවන රජයට හානිවන, බිය ගන්වන සහ අතෘප්තිකර බව ඉස්මතු වන අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ වරණය කිරීමට එරට විදුලි සංදේශ අධිකාරියට බලය පැවරී ය. අවසානයේ පකිස්ථානය සිය තීරණය හකුළා ගත්තේ ය. Facebook වැනි සමාගම් ද මෙම නියාමනයට හසු වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ඔවුන්  දක්වන ප්‍රතිචාරය කෙබඳුවිය හැකි ද?