තවත් රැඳවියන් 4 කගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට

මහර තවත් රැඳවියන් 4 ක් මිය ගොස් ඇත්තේ වෙඩි වැදී, කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් බවට හෙළිවෙයි

by Staff writer 23-12-2020 | 4:46 PM

COLOMBO (News 1st) -  පසුගිය දා මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් මියගිය රැඳවියන් 11 දෙනා අතරින් තවත් රැඳවියන් 4 දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් සිදු වූ බරපතල තුවාල සහ කොවිඩ් 19 ආසාදිත තත්ත්වයෙන් බව පංච පුද්ගල විශේෂඥ මණ්ඩලය අද වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට වාර්තා කර තිබේ.

අද දින පශ්චාත් මරණ පරීක්ෂණයට ඉදිරිපත් කළ එම රැඳවියන් 4 දෙනාගේ මළ සිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දෙන්නේ ද නැතහොත් ආදාහනය කිරීමට අවසර ලබා දෙන්නේ ද යන නියෝගය ලබන 3 වැනි දා නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කරනු ලැබුවේ ය. නඩුව අද දින කැඳ වූ අවස්ථාවේදී මියගිය රැඳවියන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක් අධිකරණය හමුවේදී කරුණු දැක්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මුලික විරෝධතාවක් ඉදිරිපත් කළා ය. මෙම නීතිඥවරුන් කුමන මරණකරුගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින්නේදැයි නිශ්චිතව සඳහන් කිරීමකින් තොරව කරුණු දක්වන බැවින් එම නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවසර ලබා නොදෙන ලෙස රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය. මියගිය රැඳවියන් 4 දෙනාගේ සමීප ඥාතීන් මළ සිරුරු හතර, අදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට ලිඛිතව එකඟ වී තිබියදී එම මළ සිරුරු භූමිදානය කරන ලෙසට කළ ඉල්ලීම අයුක්ති සහගත බව සිය මුලික විරෝධතාවය මගින් පෙන්වා දුන් රජයේ අධිනීතිඥවරිය ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා ය. ඒ සම්බන්ධයෙන් නියෝගය ද ලබන 30 වැනි දා නිකුත් කරන බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා ලබන 28 වැනි දා මුලික විරෝධතාවය ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ අධිනීතිඥවරියට නියෝග කර තිබේ.