තෙවනි පාසල් වාරය අදින් අවසන්

තෙවනි පාසල් වාරය අදින් අවසන්: සියලු සිසුන් ඊළඟ ශ්‍රේණියට උසස් කිරීමට උපදෙස්

by Staff writer 23-12-2020 | 5:48 PM

COLOMBO (News 1st) - 2020 වර්ෂයේ තුන්වැනි පාසල් වාරය අදින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව සියලුම සිසුන් ඊළඟ ශ්‍රේණියට උසස් කළ යුතු බවය. ඊට අදාළ පෙළපොත්, මෙම වර්ෂය අවසානයේ දී සියලු සිසුන් වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත. ඒ අනුව 2021 වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 11 වැනි දින ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් එදින ආරම්භ වන්නේ නැත. මේ අතර 2020 විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම් පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස්දී තිබේ. ඒ අනුව 2021 වර්ෂයේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක අතරතුර පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙළක් යොදාගනිමින් එම විෂය කොටස් ආවරණය කිරීමට පියවර ගත යුතුය.