by Staff writer 23-12-2020 | 7:50 PM
COLOMBO (News 1st) - කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් මියගිය දින 21 ක් වයසැති තම බිළිඳු දරුවාගේ සිරුර ආදාහනය කළ ආකාරය සැක සහිත බවත් එමගින් තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පෙන්වා දෙමින් බිළිඳාගේ වෛද්‍ය වාර්තා අධිකරණයට කැඳවා පරීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බිළිඳාගේ දෙමව්පියන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකමක් ගොනු කර තිබේ.
පෙත්සම ගොනුකර ඇත්තේ, කොළඹ 15 ෆර්ගියුසන් පාරේ පදිංචි මොහොමඩ් මහරුෆ්, මොහොමඩ් ෆාහිම් සහ ෆාතිමා සප්නාස් නැමැත්තන් විසිනි.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත හා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ සංජීව මුණසිංහ, රාජ්‍ය ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන මහත්වරු හා නීතිපතිවරයායි.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, හදිසියේ මිය ගිය සිය දරුවාගේ සිරුර හදිසියේ ආදාහනය කිරීමේ කිසිදු හේතුවක් නොමැති බවත් ඒ වනවිටත් කොවිඩ් වැළඳීමෙන් මියගිය 19 දෙනෙකුගේ මළ සිරුර මෘත ශරීරාගාරයේ රඳවා තිබූ බවයි.