by Staff writer 21-12-2020 | 10:04 PM
COLOMBO (News 1st) : නීතිපති සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස නම් කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරු මඬුල්ල බෙදුණු තීරණයක් අද ප්‍රකාශයට පත් කළේ ය.
සුළුතරයේ තීන්දුව දැනුම් දෙමින් සභාපති විනිසුරුවරයා කොමිසමට දැනුම් දුන්නේ, සිය මතය අනුව සාක්ෂිකාර නිෂාරා ජයරත්න මෙනෙවිය කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් බැවින් ඒ සම්බන්ධයෙන් අවසාන තීරක බලය හිමි අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කළ යුතු බවයි.
කෙසේ වෙතත් ඇය කොමිෂන් සභාවට හෝ වෙනත් කිසිදු අධිකරණයකට සලකා බැලිය හැකි මට්ටමේ අපහාසාත්මක වචනයක් හෝ ක්‍රියාවක් කර නොමැති බව නිගමනය කළ සෙසු සාමාජික විනිසුරුවරුන් දෙදෙනා සිය තීරණය දැනුම් දෙමින් කියා සිටියේ,නිෂාරා ජයරත්න මෙනෙවිය කොමිසමට අපහාසයක් කර ඇතැයි නිගමනය කිරිමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවයි.
මේ අනුව අභියාචනාධිකරණය හමුවේ ඉදිරි නෛතික පියවර නොගැනීමට ජනාධිපති කොමිසම බහුතර මතය අනුව තීරණය කෙරිණි.
නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය අද දෙවන දිනටත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පෙනී සිටියා ය.
ඒ , 2019 වර්ෂයේ ජුනි මස 19 වැනි දින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා යි.
2017 වසරේදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ ලිපි ගොනුවක් සම්බන්ධයෙන් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කළ මාධ්‍ය ප්‍රකාශයකට පිළිතුරු ලෙස අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණි.
රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවියට කොමිසම හමුවේ යමක් පැවසීමට ඇත්දැයි විනිසුරු මඩුල්ල විමසා සිටියේ ය.
මම නොදැනුවත්කම මත කොමිසමට අපහාසයක් සිදු වී ඇත්නම් සමාව අයදින බව ඇය ප්‍රකාශ කළා ය.