පකිස්ථානයට එරෙහි 20යි 20 තරගාවලියේ ජය නවසීලන්තයට..

පකිස්ථානයේ බලාපොරොත්තු සුන් කරමින් 20යි 20 තරගාවලියේ ජය නවසීලන්තයට..

by Chathuranga Rajapaksha 20-12-2020 | 3:29 PM
COLOMBO (News 1st): තවත් තරගයක් ඉතිරිව තිබියදීම පකිස්ථානයට සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනිමට නවසීලන්තය සමත් විය. ඒ අද පැවති දෙවන තරගය කඩුලු 9කින් ජය ගැනීමත් සමගිනි. හැමිල්ටන්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් හෆීස් පන්දු 57කදී ලකුණු 99ක් ලබා ගැනිමට සමත් විය. ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය. පන්දු යැවීමේදි ටිම් සවුති ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයේ පළමු කඩුල්ල ලකුණු 35කට දැවී ගියේය. අනතුරුව ටිම් සීෆර්ට් සමග එක් වූ නායක කේන් විලියම්සන් නවසීලන් ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. සටන්කාමී ඉනිමක් දියත් කළ ටිම් සීෆර්ට් පන්දු 63කදී නොදැවී ලකුණු 84ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. කේන් විලියම්සන් නොදැවි ලකුණු 57ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ඒ අනුව නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.