මහජන උපයෝගිතා කොමිසම අහෝසී කිරීමට බලපෑම් කරන බලවේග ගැන හෙළිදරව්වක්..

by Staff writer 19-12-2020 | 8:55 PM
COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසම අපේ රටේ සාමාන්‍ය ජනතාවට හුඟක් බලපෑම් කළ ආයතනයකි. ඒ බලපෑම තමයි ඉහළ යන විදුලි බිල හැම වෙලාවේම ජනතාවගේ පැත්තෙන් පාලනය කරන්න කටයුතු කළ ආයතනයක් තමයි මේ ආයතනය. අනිත් පැත්තෙන් රටේ මහජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් නාස්තිවීම වළක්වා ගත්තෙත් මහජන උපයොගීතා කොමිසමයි. ජනාධිපති ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත යැවූ ලිපියක් මගින් මේ කොමිසම වසා දමන්නැයි කළ දැනුම් දීමත් සමග බරපතල සංවාදයක් ඇතිවිය. අද ශ්‍රී ලංකා විදුලි කාර්මික එකමුතුව මේ මහජන උපයෝගීතා කොමිසම අහෝසී කිරීමට බලපෑම් කරන බලවේග ගැන හෙළිදරව්වක් කළේය.   https://youtu.be/-wVOI0RXCgw මේ අතර විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළ බවට නැගෙන චෝදනා,මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය ප්‍රතික්ෂේප කරයි. එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, කොමිෂන් සභාව විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි නගන චෝදනා පදනම් විරහිත හා සම්පූර්ණ සාවද්‍ය බවයි. විදුලි බලාගාර සැලසුම කිරීම් සහ බලාගාරවලට මිල කැඳවීම් සදහා අනුමැතිය ලබාදීමෙන් නොනැවතී එම සැලසුම් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස ද මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය අදාළ පාර්ශවයන්ට අවධාරණය කරයි. සේවක සංගමය පවසන්නේ කොමිෂන් සභාව විසින් අඩු වියදම් බලාගාර ඉදිකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පූර්ණ සහාය හා අනුමැතිය ද ලබා දී ඇති බවයි. දිගුකාලීන අඩු වියදම් විදුලි ජනන සැළසුම් යටතේ 2016-2020 කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් 300MW ක ප්‍රධාන විදුලි බලාගාර 3ක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇති අතර ඒවාට කඩිනමින් දින කිහිපයක් තුළ අනුමැතිය දීමට පියවර ගත් බව අදාළ නිවේදනයේ සඳහන් වේ. රටට හා ජනතාවට හිතකර වන පරිදි අවශ්‍ය සංශෝධන සහිතව අනුමැතිය දුන් මෙම ව්‍යාපෘති විදුලි බල මණ්ඩලය වසර ගණන් ප්‍රමාද කළ බව ද ඔවුන් පෙන්වා දෙන්නේය.