PUCSL ආරක්ෂා කර ගත යුතු නොවේද?

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවශ්‍යයි - හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ

by Chathuranga Rajapaksha 19-12-2020 | 3:54 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (Public Utilities Commission of Sri Lanka / PUCSL) සියලු සාමාජිකයින් ඉල්ලා පසුගිය 08 වැනිදා ඉල්ලා අස්වීමත් සමග එය මේ වනවිට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතා කටයුතු කළ අතර, උපසභාපති ලෙස චන්ද්‍රා ඒකනායක මහත්මිය කටයුතු කළා ය. මහාචාර්ය කපිල පෙරේරා, ආචාර්ය නිශාන් ද මෙල් සහ සඳුන් ගමගේ යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයින් වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා පත් කෙරෙන සමාජිකයින්ගේ එක් වාරයක ධුර කාලය වසර 5 ක් දක්වා බල පැවැත්වේ. ඊට පත්වන සාමාජිකයෙකු ඉල්ලා අස්වුවහොත් හැර සාමාජික ධුරය ඉවත් කළ හැක්කේ කිසියම් විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධ චෝදනා තහවුරුවීමෙන් පසු පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් සම්මත කර ගැනීමෙන් අනතුරුවයි. විදුලිබල ක්ෂේත්‍රයේ නියාමන වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා තැබීමට උපදෙස් දෙමින් ඉකුත් 01වැනිදා, දාතමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා වෙත ලිපියක් යොමු කිරීම මෙම ආන්දෝලනාත්මක සිදුවීමේ මූලාරම්භය වේ. නමුත් මේ සම්බන්ධයෙන් පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙලෙස සිය අදහස් පළ කළේය. ''දැන් අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයට සංශෝධනයක් තමයි සිද්ධ වෙන්නේ. එතුමා පැහැදිලිවම කතා කරාමත් කිව්වේ අයවැය ලේඛනය තුළ ප්‍රකාශ කළ ආකාරයේ සංශෝධනයක් තමයි සිද්ධ වෙන්නේ කියලා.දැන් ආචාර්ය ජයසුන්දර මැතිතුමා ඒ ආපු ලියුම අපිත් එක්ක සාකච්ඡා කරලා අපි දැනුවත් වෙලා යවපු ලියුමක් නෙවෙයි. කෙසේ වෙතත් මේකේ අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යම් නියාමනයක් අවශ්‍යයි” ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසා දැමීමට ජනාධිපති ලේකම්වරයා උපදෙස් දීම සම්බන්ධයෙන් ලංකා විදුලි පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, කොමිෂන් සභාව වසා දැමුවහොත් ඉදිරියේදී අධික මිලට විදුලිය මිලදී ගැනීමකටත්, එහි බර පාරිභෝගිකයා මත පැටවෙන විදුලි ගාස්තු ඉහළ දැමීමකටත්, මග පාදන්නක් බැවින් එමගින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන සැකය තම සංගමයට පවතින බවයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට මහජන සුබසිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට ලබා දුන් බලය අව භාවිත කරමින්, ජනාධිපති ලේකම්වරයා සැරසෙන්නේ ව්‍යවස්ථාදායක බලය හෑල්ලුවට ලක් කරමින් ජනාධිපතිවරයාට ඇති මහජන විස්වාසය පලුදු කිරීමටදැයි එම සංගමය ප්‍රශ්න කරයි. සංගමය විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විදුලි උගුල් අටවන්නන්ගේ මහා පරිමාන මංකොල්ලයට තිත තබා විදුලිබල කර්මාන්තය නිසි මග ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව රැක ගැනීමට පෙරට එන ලෙසය. 2002 වසරේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කෙරෙන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට, විදුලිබල ක්ෂේත්‍රයේ නියාමනය පැවරෙන්නේ, 2009 /අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතිනි. එම පනතේ ප්‍රමුඛ අරමුණ අඩු පිරිවැය දිගු කාලීන විදුලි ජනන සැලසුම් රට තුළ ක්‍රියාත්මක කිරීමයි. එය 2002 ඔක්තෝබර් 08වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ එවට හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසිනි. එහිදී මිලින්ද මොරගොඩ මහතා පැවසුවේ මෙවැන්නකි ''ඔබට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත, කොමිසමේ සාමාජිකයින් හා එහි නිලධාරී මණ්ඩලයේ සුදුසුකම්, පත්විම් කාලය හා ව්‍යුහාත්මක ශක්තිය මගින් ස්වාධීන, වෘත්තීමය සහ විනිවිද දකින ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට උත්සාහ කරයි. එසේම කර්මාන්ත ක්ෂේත්‍රයෙන් මෙම පාර්ලිමේන්තුවට වගකියන ස්වාධීන කොමිසමක් සකස් කිරිමට අපි උත්සාහ දරන්නෙමු.'' මෙම පනතේ අරමුණ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් මෙලෙස සාරංශ ගතකර පාර්ලිමේන්තුවට එදා ඉදිරිපත් කළේය. ''මෙම පනත් කෙටුම්පතේ ඇති ප්‍රයෝජන මොනවාද? පනත් කෙටුම්පත පිටු 40කින් සමන්විත වන නමුත්, අපට එහි අරමුණු ගැබ්වන පරිදි, වචන තුනකය කෙටි කළ හැකිය.'' එම වචන තුන වනුයේ සැපයීම, ආරක්ෂාව හා වැළැක්විමයි. * අප මූලික අවශ්‍යතා සැපයිය යුතුයි * අප පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතුයි * අප සමීකරණයේ පාරිභෝගික වියදම හා නිෂ්පාදන වියදම යන දෙපසටම වැරදි වීම් වැළකිය යුතු වේ. මෙවැනි අරමුණු පෙර දැරිව එදා ආරම්භ කළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජනතාව වෙනුවෙන් තවදුරටත් ආරක්ෂා කරගත යුතු නොවේද?

එවකට හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් වර්ෂ 2002 දී මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ සම්පූර්ණ කතාව කියවන්න..