MTV සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමෙන් රු. බිලියන 20ක වන්දි ඉල්ලා, හරස් ඉල්ලීමක් ගොනු කරයි

by Staff writer 18-12-2020 | 9:15 PM

COLOMBO (News 1st) - MTV චැනල් පුද්ගලික සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමෙන් රුපියල් බිලියන 20 ක වන්දි ඉල්ලා හරස් ඉල්ලීමක් අද අධිකරණයේ ගොනු කර තිබේ.

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කර ඇති අපහාස නඩුව අද කැඳවූයේ, චතුරිකා ද සිල්වා කොළඹ අතිරේක දිසා විනිසුරුතුමිය ඉදිරිපිටදීය. MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන්, නීතිඥ ජී. ජී අරුල් ප්‍රගාසම් මහතා විරෝධතා ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පැමිණිල්ල නිශ්ප්‍රභ කරන ලෙස සහ පැමිණල්ලෙන් අයද ඇති අතුරු සහන ප්‍රතික්ෂේපකර, සියයට 500 නඩු ගාස්තු අය කර දෙන ලෙසය. මීට අමතරව MTV චැනල් පුද්ගලික සමාගම තම උත්තරය මගින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමෙන් රුපියල් බිලියන 20ක් ඉල්ලා හරස් ඉල්ලීමක් ගොනු කළේ ය. එමගින් පෙන්වා දී ඇත්තේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම අතුරු තහනම් නියෝගය ලබාගෙන ඇති ආකාරය නිස්සාර සහ ද්වේශ සහගතවන බවත්, පැමිණිලිකරු විසින් අධිකරණ ක්‍රියාවලිය අපයෝජනයට මෙන්ම අවභාවිතයට ලක් කර ඇති බවයි. තව ද ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමෙන් ගොනු කර ඇති නිස්සාර සහ ද්වේශ සහගත නඩු නිමිත්ත මගින් දේශීය මෙන්ම විදේශීය මාධ්‍ය ආයතන අතරේ ගෞරවයට පාත්‍ර වූ නිව්ස්ෆස්ට් - එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමේ ප්‍රතිරූපයට බරපතල හානියක් සිදුව ඇති බව MTV චැනල් පුද්ගලික සමාගම ගොනු කළ උත්තරයෙන් අධිකරණයට පෙන්වා දී තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, පැමිණිලිකාර සමාගමේ අධ්‍යක්ෂ හපුතන්ත්‍රිගේ එරන්ජිත් රණසිංහ යන අය විසින් අධිකරණයට ඉදිරිපත්කොට ඇති දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු අසත්‍ය බවත්, එය හොඳාකාරවම දැන දැන ඕනෑකමින්, චේතනාන්විතව අධිකරණය නොමග යවා ඒක පාර්ශවික වාරණ නියෝගයක් ලබා ගැනීමේ යටි අරමුණින් ඔහු එකී දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව හපුතන්ත්‍රිගේ එරන්ජිත් රණසිංහ යන අය අධිකරණයට අසත්‍ය දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සම්බන්ධව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 183 (ආ) වගන්තිය යටතේ මෙන්ම, දණ්ඩනීතී සංග්‍රහ යටතේද චෝදනා නැගීමේ අයිතිවාසිකම MTV ආයතනය රඳවා තබා ගන්නා බව ද තම උත්තරය මගින් MTV චැනල් පුද්ගලික සමාගම ප්‍රකාශ කර සිටියේ ය. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුතුමිය අතුරු තහනම් නියෝගය පිළිබඳ මෙම නඩුව 2021 වසරේ ජනවාරි මස 8 වැනි දා විමසීමට නියම කළ අතර එදිනටම පැමිණිලිකාර පාර්ශවයේ ප්‍රතිඋත්තර ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබේ. අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට එරෙහිව දැඩිලෙස විරෝධය ප්‍රකාශ කරමින්, මේ පිළිබඳව දීර්ඝ ලෙස මීට පෙර ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය. MTV චැනල් පුද්ගලික සමාගම දැනටමත් විරෝධතා ගොනුකර ඇති අතර මෙම නඩුව විභාග කිරීමට දින ද නියම කර ඇති බව ද ඊට පිළිතුරු ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. දෙපාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුතුමිය දෙසැම්බර් 30 වැනි දා දක්වා පමණක් වාරණ නියෝගය දීර්ඝ කරනු ලැබූ අතර නඩුව නැවත එදිනම කැඳවීමට නියෝග කර තිබේ. මීළඟ නඩු දිනයේදී මෙම නඩුව අංක එක අධිකරණයේ දිසාවිනිසුරුතුමා ඉදිරිපිට පමණක් කැඳවිය යුතු බව දිසාවිනිසුරුතුමිය අවධාරණය කළේ ය. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා,නිතීඥ ජීවන්ත ජයතිලක, නිරංජන් අරුල්ප්‍රගාසම්,දමිත කරුණාරත්න,එන්.කේ.අශෝක් බරන්,මියුරු ඉගලහේවා සහා තවත් නීතිඥවරු 07 දෙනෙකු නීතිඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත විත්තියේ පාර්ශවය වන MTV චැනල් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටියේ ය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා හා රුවන්ත කුරේ මහතායි. පැමිණිල්ලේ නීතිඥයින් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මතයි.