'ගම සමග පිළිසඳර'ට ජනපති යළි ගමට යයි

සාම්ප්‍රදායික ජන ජීවිතයට බාධා කරන්න එපා...! ජනපති නිලධාරීන්ට කියයි

by Sagarika Chathumali 18-12-2020 | 4:39 PM

COLOMBO (News 1st) : කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුළුවන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, 'ගම සමග පිළිසඳර' සඳහා අද බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගමට ගිය අවස්ථාවේදී ය. එහිදී කිතුල් මැදීමේදී බලපාන ගැටලු පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ජනාධිපතිවරයා එහිදී පොලීසියට, වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, පාරම්පරික  ජීවන රටාවන්ගෙන් පරිසරයට හානියක් නොවන බව අවස්ථා ගණනාවකදීම පැහැදිලි වී ඇති බැවින් එම කටයුතුවලට සහය වන ලෙසයි. රාවණාකන්ද ග්‍රාමයට ආසන්න කට්ටඩිකන්ද, ගල්ලෙනකන්ද සහ තෝරවෙල් කන්ද ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ගම්මු සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අද තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියට පැමිණ සිටියහ. ජනතා ගැටලුවලට සවන් දුන් ජනාධිපතිවරයා රාවණාකන්දට මාර්ග 4ක් සංවර්ධනය කිරීමට සහ පාලම් 3ක් අලුතින් ඉදිකිරීමට පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මීට අමතරව , *ප්‍රදේශයේ තේ වගාකරුවන්ට අඩුවක්ව පවතින තේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කර දීම *තේ දළු ප්‍රවාහනයේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට පහසුකම් සැලසීම *ඉඩම් ගැටලු හඳුනාගෙන කඩිනම් විසඳුම් ලබාදීම *ප්‍රදේශයේ පාසල් රැසක ගුරු හිඟයට සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් විසඳුම් දීම *සබරගමු පළාතේ උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ හා තාක්ෂණ විෂයන් ඉගැන්වීමේදී පවතින දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟය පියවීමට කඩිනම් සැලසුම් සැකසීම *ප්‍රදේශයේ තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීම *පින්නවල ග්‍රාමීය රෝහල, මනතුංගකන්ද ඇතුළු ග්‍රාමීය රෝහල් කිහිපයක වෛද්‍ය, හෙද සහ යටිතල පහසුකම් සංවර්ධනය *බැංකියවත්ත කසල මුදා හැරීමේ මධ්‍යස්ථානය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම *ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සුසාන භූමියක් ඉදි කිරීමට සුදුසු භූමියක් වෙන් කිරීම *තෝරවෙල්කන්ද විද්‍යාලයට අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක පද්ධතියකින් සමන්විත “සුහුරු පන්ති කාමරයක්” ප්‍රදානය කිරීම ගම සමග පිළිසඳර' වැඩසටහනේදි අවධානය යොමු වූ තවත් කරුණු කිහිපයකි. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ඇතුළු ජනතා නියෝජිතයින් සහ අමාත්‍යාංශ රැසක ලේකම්වරු ද ඇතුළු නිලධාරීහු “ගම සමග පිළිසඳරට” එක්ව සිටියහ.