බස්නාහිර බෝඩරේදී Antigen කළ 05කට කොරෝනා

බස්නාහිර බෝඩරේදී කළ අහඹු Antigen පරීක්ෂණවලින් 05 දෙනෙකුට කොරෝනා

by Staff writer 18-12-2020 | 6:06 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතෙන් පිටතට යාමට සූදානම් වුවන් අතරින් අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ 431 දෙනෙකු අතරින් කොවිඩ් ආසාදිතයින් 5 දෙනකු අද දිනයේ හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම ආසාදිතයින් සමග ගමන්ගත් සෙසු පුද්ගලයින් නිරෝධායනයට යොමු කළ බවයි. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින්ට අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලියත් සමග අද සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඒ සඳහා ජංගම රථ යොදවා තිබුණි. බස්නාහිර පළාතේ සිට සබරගමුව පළාතට ගමන් කිරීමේදී ඊට මායිම්ව ඇති දංඕවිට ප්‍රදේශයේදී අද ජංගම රැපිඩ් ඇන්ටින් පරීක්ෂණ සිදු කෙරුණි. විශේෂයෙන් දුර ගමන් සේවා බස් රථවල ගමන් ගත් මගින් පරීක්ෂා කිරීම මෙම ස්ථානයේදී සිදු කෙරුණු බව අප වාර්තාකරු පැවසුවේ ය. නිට්ටඹුව, මීරිගම, වේයන්ගොඩ පොලිස්ථානවල නිලධාරීන් හා මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මෙම කාර්ය සඳහා එක්ව සිටියහ. අද දිනය තුළ මෙම ස්ථානයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 136 ක් සිදු කෙරුණු අතර ඉන් එක් අයෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග ඔහු රෝහල්ගත කිරීමට කටයුතු යෙදුණි. අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ජංගම රසායනාගාර 10 ක් පමණ අවශ්‍ය වන බව වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ ය.