අප්‍රේල් 21 ප්‍රහාරය ගැන අනාවරණයක්..

අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර දින ලැබුණු තොරතුරු ගැන නිසි පියවර ගත්තේ නැහැ - රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂක හෙළි කරයි

by Staff writer 17-12-2020 | 9:21 PM

COLOMBO (News 1st) : ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට 2019 අප්‍රේල් 20 රාත්‍රී 8.00ට පමණ ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා නිසි පියවර ගෙන නැති බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය බුද්ධි සේවයට පැහැදිලි හැකියාවක් තිබූ බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂක විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ලංකාපුර මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවේ ය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ, තම වසර 30ක බුද්ධි අංශ අත්දැකීම් අනුව 2019 වසරේ අප්‍රේල් මස 21වැනි දින ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ හැකි බව දන්වමින් ප්‍රහාරයට පෙර දින සවස ලැබුණු තොරතුර සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට රාජ්‍ය බුද්ධි සේවයට හැකියාව තිබූ බවයි. මෙහිදි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර දින ලැබුණු විදේශීය බුද්ධි තොරතුරට අදාළ පිටපතක් රාජ්‍ය බුද්ධි සේවයේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයාගේ නිරීක්ෂණයට යොමු කරමින් ප්‍රශ්න කළේ, "ඔබට තිබෙන අත්දැකීම් අනුව මෙම තොරතුර සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්ද" යන්නයි. එය නිරීක්ෂණය කළ සාක්ෂිකරු පැවසුවේ - සියට සියයක්ම කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට එමගින් පැහැදිලිව දැනුම් දී ඇති බව සහ ප්‍රහාරය එල්ල විය හැකි ස්ථාන සම්බන්ධයෙන් ද තොරතුරු අන්තර්ගතව ඇති බැවින් පුද්ගලයන් බේරා ගැනීමට වහාම ක්‍රියාත්මක විමට හැකියාව තිබූ බවයි. අදාළ තොරතුර සම්බන්ධයෙන් හෝටල්වලට සහ දේවස්ථානවලට දැනුම් දීමේ හැකියාව වෙනත් අංශයකට නොව රාජ්‍ය බුද්ධි සේවයටම තිබුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. ඔහු අවධාරණය කළේ , කාදිනල් හිමිපාණන් ඇතුළු ආගමික නායකයින්ට අදාළ තොරතුර දැනුම් දීමට හැකියාව තිබූ අංශ රාජ්‍ය බුද්ධි සේවය තුළම ක්‍රියාත්මක වූ බැවින් බුද්ධි නිලධාරීන් සිවිල් රාජකාරියේ ඒ මොහොතේ සිටම යොමු කළ යුතුව තිබුණු බවයි. මේ අතර විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා සාක්ෂි ලබා දෙමින් පැවසුවේ , 2015-16 වැනි කාලසීමාවන් තුළදී තමන් ඇතුළු අත්දැකීම් තිබෙන පළපුරුදු බුද්ධි නිලධාරීන් රැසක්ම රාජ්‍ය බුද්ධි අංශයෙන් ස්ව කැමැත්තෙන්ම විශ්‍රාම යාමට කටයුතු කළ බවයි