මේ විදියට රට දුවන්න පුළුවන්ද? ආර්ථිකයේ ඇත්ත තත්ත්වය මෙන්න...

by Staff writer 15-12-2020 | 8:56 PM

COLOMBO (News 1st) - මේ වසරේ මුල් මාස 10 තුළ මෙරට වෙළෙඳ හිඟය කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම දත්තවලින් ඒ බව සඳහන් ය. මෙරට වෙළෙඳ හිඟය මෙලස අඩු වූයේ කෙසේද? මේ ඒ පිළිබඳ සොයා බැලීමකි. කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ මාර්තු මාසයේ සිට මේ රටේ ආර්ථික කටයුතුවල දැඩි බලපෑමක් එල්ල විය. එහි බලපෑම මත මේ වසරේ මුල් මාස 10 තුළ මෙරට ආනයන අපනයන වෙළෙඳාමට සිදුව ඇත්තේ කුමක්ද යන්න ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව මේ වරේ මුල් මාස 10 තුළ මෙරටින් වෙනත් රටවලට යවන ලද භාණ්ඩ හෙවත් අපනයන ආදායම් පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 16.7% ක් පහළ ගොස් තිබේ. මේ අතර විදේශයන්ගෙන් මෙරටට ගෙන් වූ භාණ්ඩ හෙවත් ආනයන වෙනුවෙන් දරා ඇති වියදම ද 19.9% කින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව සඳහන්ය. අපනයන ආදයම් පහළයාම වඩා වැඩියෙන් ආනයන වියදම් අඩුවීම තුළ මෙරට වෙළද හිඟය කැපී පෙනන ලෙස පහළ ගොස් තිබේ. ආනයන වියදම් පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාම හා ශ්‍රී ලංකාව මේ වනවිට අනුගමනය කරමින් ඇති ආනයනය සීමා කිරීමේ ප්‍රතිපත්තිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. මේ වසරේ මුල් මාස 10 තුළ ඛනිජ තෙල් ආනයන වියදම් පසුගිය වසරේ අදාළ කාලයට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 1110 කින් පහළ ගොස් තිබේ. ඊට අමතරව රෙදිපිළි හා උපාංග, ගොනැගිලි ද්‍රව්‍ය, රථවාහන, යන්ත්‍රසුත්‍ර ආදිය සඳහා දරපු විදේශ විනිමය ප්‍රමාණය ද කැපී පෙනන ලෙස පහළ ගොස් තිබුණි. පවතින කොවිඩ් වසංගතය හමුවේ රටේ ආර්ථිකය මුහුණ දෙන අභියන්ට පිළියමක් ලෙස ආනයන සීමා කර දේශිය නිෂ්පාදනය ඉහළ නැන්වීමට මේ වනවිට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇත. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති ආනයන තොරතුරුවලට අනුව පසුගිය වසරට වඩා මේ වසරේ ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා කටයුතු කර ඇති බව දක්නට ලැබේ. අහාර හා පාන වර්ග ආනයන සඳහා මේ වසරේ මුල් මාස 10 තුළ පසුගිය වසරට සාපෙක්ෂව 11.7 % කින් ඉහළ ගොස් ඇත. එහිදී කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනට 9.1% කින් ඉහළ ගොස් තිබේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එළවළු ආනයනයද 18.7 % කින් ඉහළ ගොස් තිබිමයි. සීනි හා ඒ ආශිත නිෂ්පාදන සියයට 45.7 කින් ඉහළ යාමද කැපී පෙනෙන තත්ත්වයක්. කහ ඉගුරු වැනි ද්‍රව්‍ය ආනායනය සීමා කර තිබුනත් කුලු බඩු ආනයනය සියයට 17 කින් ඉහළ ගොස් තිබෙනවා. තිරිගු හා ඉරුගු ආනයන ද 17.7% කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්තවල සඳහන් ය. මේ අතර මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මර්ගයක් වන සංචරක ක්ෂේත්‍රයේ ඉපයීම් මේ වසරේදී මුල් මාස 10 තුළ 66% කින් කඩා වැටි ඇත. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන ලද මුදල් ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 10 සියයට 2.6 ක වර්ධනයක් පෙන්වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් පසුගිය ඔක්තොම්බර් මස 20 වැනි දා වනවිට මෙරට සතු නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක් දක්වා පහළ ගොස් තිබේ. එය මේ වසරේ මේ දක්වා වාර්තාවන අඩුම අගය දක්වා පහළ ගොස් තිබෙන දැකිය හැකියි. ඒ සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව වී ඇත්තේ විදේශිය ණය වියවීම් සඳහා මුදල් යෙදවීමට සිදුවීම බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. දැනය පවතින සංචිත ප්‍රමාණය මාස 4කට අවශ්‍ය ආනයන සඳහා ප්‍රාමාණයවත් බව මහ බැංකු දත්තවල සඳහන් වේ.