ගුවන් හමුදා පුහුණු යානයේ නියමුවා මරුට

ගුවන් හමුදා පුහුණු යානයේ නියමුවා මරුට

by Staff writer 15-12-2020 | 6:07 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අද අනතුරට පත්වීමෙන් එහි පියසර කළ පුහුණු නියමුවා මිය ගියේ ය.

ත්‍රීකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගතවී තිබූ මෙම යානය කන්තලේ, සූරියපුර ජන රංජන වැව ආසන්නයේ අනතුරට ලක්වී තිබුණි. පස්වරු 1.05 ට පමණ පුහුණු සැසියක් සඳහා යානය ගුවන්ගත කර තිබූ අතර අනතුරට පස්වරු 1.15 ට පමණ ඒ සමග තිබූ සන්නිවේදන සබඳතා ඇණහිට තිබේ. ගුවන් හමුදාව සඳහන් කළේ, චීන වරාය කඳවුරේ සිට නාවික සැතපුම් 14 ක් පමණ දුරින් යානය අනතුරට ලක්වී තිබු බවයි. මේ අනතුරෙන් යානයේ පියාසර කළ පුහුණු නියමු ශලින්ද අමරකෝන් මහතා ජීවිතක්ෂයට පත් විය. ගුවන් අනතුරින් අද ජීවිතක්ෂයට පත් වූ පුහුණු නියමු ශලින්ද අමරකෝන් මහතා කෑගල්ල මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු 2019 වසරේ ජනවාරි මාසයේ කැඩෙට් නිලධාරියෙකු ලෙස පුහුණුව ආරම්භ කර ඇති අතර ගුවන් නියමු පුහුණුව ආරම්භ කර තිබුණේ එම වසරේ ජූලි මාසයේදීයි.