දිස්ත්‍රික්ක 19කින් ආසාදිතයින් 685ක්

කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ මෙන්න

by Sagarika Chathumali 15-12-2020 | 8:45 AM
COLOMBO (News 1st) : අද උදෑසන වනවිට (15) මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 688 දෙනෙකු වාර්තා වී තිබේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ආසාදිතයින් 685 දෙනෙකුම දේශීයව හඳුනා ගත් ආසාදිතයින් බවයි. ඉතිරි ආසාදිතයින් තිදෙනො හඳුනාගෙන ඇත්තේ, විදේශීය මුහුදු ආරක්ෂකයින් අතරිනි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන ආසාදිතයින් 200 දෙනා  කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඊට අමතරව කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 117ක්, සහ 113ක් ලෙස වාර්තා වී තිබේ. ‌අනෙක් ආසාදිතයින් 255 දෙනා වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ආසාදිතයිිිින් වාර්තා වූ ප්‍රදේශ පහතින්..  ඊයේ (14) දිනය තුළ පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 516 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 24309 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තාවීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව ද 154ක් දක්වා ඉහළ ගියේ ය. ඉන් එක් මරණයක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වූ අතර පසුගිය 11 වනදා එලෙස මියගොස් තිබුණේ, 73 හැවිරිදි කාන්තාවකි. ඇයගේ මරණයට හේතුව කොවිඩ් 19 ආසාදනය සමග අධිරුධිර පීඩනය නිසා හටගත් හෘදයාබාධයක් ලෙස දැක්විය. කොළඹ 14 ප්‍රදේශයෙන් අනෙක් මරණය වාර්තා වී තිබූ අතර අවුරුදු 65ක් වයසැති පිරිමි පුද්ගලයෙකු කොළඹ පෞද්ගලික රෝහලකදී එලෙස මිය ගොස් තිබිණ. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වූණේ, කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33478ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් 9015 දෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. නිරෝධායන මධ්‍යස්ථාන 79ක් තුළ පුද්ගලයින් 7,813 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (14) දිනය තුළ මෙරටදී  සිදු කර ඇතිි PCR පරීක්ෂණ සංඛ්‍යාව  13,479කිි.