ජැෆ්නා ස්ටැලියන්ස්  LPL අවසන් මහා තරගයට

ජැෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකිංග් පරදා LPL අවසන් මහා තරගයට

by Staff writer 15-12-2020 | 8:13 AM

COLOMBO (News 1st) - ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම 2020 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන තිබේ.

ඒ, දඹුල්ල වයිකිංග් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය ලකුණු 37කින් ජය ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළේ ය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් පන්දු 56කින් ලකුණු 76යි. 4 පහර 10ක් සහ 6 පහරක් ඊට ඇතුළත් වුණේ ය. මලින්ද පුෂ්ප කුමාර කඩුලු 2යි. ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල වයිංකිංග් කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග ලකුණු 33ක් රැස්කළේය. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඒ අනුව අනිද්දා අවසන් මහාතරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් තරග වදිනු ඇති.