කොවිඩ් එන්නතක් ලබා ගැනීමට ලංකාව සූදානම්ද?

සිංගප්පූරු වැසියන්ට කොඩිව් එන්නත නොමිලේ!: කොවිඩ් එන්නතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සූදානම කෙසේද?

by Staff writer 14-12-2020 | 9:19 PM
 

COLOMBO (News 1st) – කොවිඩ් ඖෂධ ගැන රට තුළ සංවාදය එලෙස පවතිද්දී සිංගප්පූරුව ෆසිසර් හා බයොන්ටෙක් සමාගම් නිෂ්පාදනය කරන කොවිඩ් එන්නත අනුමත කර ඇනවුම් කර තිබේ.

එම එන්නත් තොගය මේ මස අවසානය වනවිට ඔවුන්ට ලැබීමට නියමිතය. එය, සියලුම සිංගප්පූරු වැසියන්ට හා දිගු කාලීනව එරට වෙසෙන සංක්‍රමණිකයින්ට නොමිලේ ලබාදෙන බව එරට අගමැතිවරයා නිවේදනය කළේ ය. අසල්වැසි මාලදිවයින ද ලබන වසරේ පළමු කාර්තුවේ සිට කොවිඩ් එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත බව එරට රජය ප්‍රකාශ කළේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන යටතේ මාලදිවයින ජනගහණයෙන් 20% කට නොමිලේ කොරෝනා එන්නත් සැපයීමට නියමිතය. මාලදිවයින් ජනගහනයෙන් සෙසු පිරිසට එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ද වෙනත් රටවල් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි මාලදිවයින් සෞඛ්‍ය බලධාරීන් පවසයි. කොරෝනා මර්දනය සඳහා ෆයිසර්/බයොන්ටෙක් එන්නත ලබාදීම ඇතැම් රටවල් ආරම්භ කර ඇති අතර ඔක්ස්ෆඩ් , සිනොවැක් හා ස්පුට්නික් වැනි එන්නත් මේ වනවිට අවසන් අත්හදා බැලීම්වල පවතී. ෆයිසර් එන්නත ලබාදීම හා බෙදාහැරීම අභියෝගාත්මක කාර්යක් බවට පත්ව ඇත්තේ එම එන්නතෙහි මාත්‍රා 02 ක් පුද්ගලයෙකුට ලබා දිය යුතු වීම හා එන්නත සෙල්සියස් අංශක සෘණ 70 ක එය ගබඩා කර තැබිය යුතු වීමයි. කොවිඩ් එන්නතක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සූදානම කෙබඳුද? නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, ලබන වසරේ මැද භාගය වනවිට මෙරට ජනගහණයෙන් 10 % කට කොවිඩ් එන්නත් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇති බවයි. මෙම එන්නත ඉතාම විශේෂිත තත්ත්වයන් යටතේ ගබඩා කිරීම බෙදා හැරීම සිදුකළ යුතු වේ. එය හැඳින්වෙන්නේ, කොල්ඩ් චේන් වැඩපිළිවෙළ ලෙසය. මෙම පසුබිම තුළ අප රටට ගැලපෙන එන්නත මේ වනවිට හඳුනාගෙන තිබේද? එන්නත ගෙන්වා ගැනීම හා බෙදා හැරීම හා කොපමණ පුද්ගලයින් පිරිසකට එන්නත ලබා දෙනවා ද යන්න අප තීරණය කර තිබේද? ලබන 26 වැනිදා වාණිජ හා විශේෂ ගුවන් ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පසුගියදා ලෝක සිවිල් ගුවන් සේවා බලධාරීන් වෙත දැනුම් දුන්නේ ය. මේ පසුබිම තුළ කොවිඩ් එන්නත ගෙන්වීම , ගබඩා කිරීම, බෙදා හැරීම හා ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ඇති සූදානම කුමක්ද?