දැය පුබුදු කළ මිණි පහන නිවී අදට වසර 17ක්

දැය පුබුදු කළ මිණි පහන නිවී අදට වසර 17ක්

by Chathurika Jayasundara 12-12-2020 | 4:44 PM

COLOMBO (News 1st)  – මෑතකාලීන ලංකාව තුළ බෞද්ධ දර්ශනයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් වෙනුවෙන් කැපවුණු සංඝයා වහන්සේ නමක් ලෙස ගංගොඩවිල සෝම හාමුදුරුවෝ සදානුස්මරණීය වෙනවා.

උන් වහන්සේ අපවත්ව අදට වසර 17ක් . සෝමරත්න නැමැති ගිහි නමින් ගංගොඩවිලදී උපන් මේ දරුවා, පසු කලෙක රටම ආලෝකමත් කරමින් ධර්මය ප්‍රචාරය කිරීමට සමත්විය. සෝමරත්න නම් මෙම දරුවා ගංගොඩවිල සෝම නාමයෙන් 1974 දී පැවිදි දිවියට පිවිසිණි. සාමණේර හිමි නමක ලෙස භික්ෂු දිවිය ඇරඹූ ගංගොඩවිල සෝම හිමියන් ව්‍යක්ත භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් මෙන්ම ස්​වෝත්සහයෙන් තමන්ගේ ධර්ම දැනුම වැඩි දියුණු කර ගත්තා. උන් වහන්සේ 1976 දී උපසම්පදාවට පත්වීම ද සිදු විය. 1986 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවට වැඩම කළ උන්වහන්සේ මෙල්බර්න්හි ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය ආරම්භ කිරීමට කටයුතු කළේ ය. ධර්ම චාරිකාවේ යෙදුණු උන්වහන්සේට නම පටබැදුණේ ''ජනතාවගේ හාමුදුරුවෝ '' ලෙසින් ය. ඒ සෝම හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ශෛලිය නිසාම උන්වහන්සේට මුළු රටේම ජනප්‍රියත්වයට පත් වූ බැවිණි. වරින් වර ඔස්ට්‍රේලියාවේත් ශ්‍රී ලංකාවේත් වැඩවාසය කළ උන්වහන්සේ වර්තමානය වන විට සමාජයේ පරිහානිය ගැන තම ධර්ම දේශනා හරහා මැනවින් පැහැදිලි කළා. එහි ප්‍රතිඵලයක් වූයේ නොයෙක් පාර්ශවවලින් විවිධ තර්ජනයන්ට ලක් වීමට උන් වහන්සේට සිදු වීමයි. යටපත් වෙමින් පැවැති බොද්ධ දර්ශනය යළි ඉස්මතු කිරීමට උන් වහන්සේ තමන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ කටයුතු කළේ ය. හිතවතෙකුගේ දැනුම්දීමක් මත රුසියාවට වැඩම කළ උන්වහන්සේ 2003 දෙසැම්බර් 12 වන දින හදිසියේ අපවත් විය. මුළු ලංකාද්වීපයම එකම මළ ගමක් මෙන්ම ගමක් ගමක් පාසා සුදු කොඩි ලෙළ දුන්නේ උන්වහන්සේ අපවත්වීමත් සමගයි . උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳව සොයා බැලීමට එකල ජනපති කොමිසමක් ද පත් කළේ ය. බෞද්ධ දර්ශනයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් කළ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට අජරාමර නිවන් සුව.....